ලක්ෂ 25, 50 දෙනව කිව්වට මරණයක් සඳහා දෙන ලක්ෂ 10වත් හරියට දීල නැහැ - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

ලක්ෂ 25, 50 දෙනව කිව්වට මරණයක් සඳහා දෙන ලක්ෂ 10වත් හරියට දීල නැහැ - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

පූර්ණ හානි සඳහා ලක්ෂ 50ක සහනයක්, අර්ධ හානි සඳහා රු. ලක්ෂ 25ක සහනයක් දෙනවා යැයි පැවසුව ද අවම වශයෙන් මරණයක් සඳහා වන රු. ලක්ෂ 10 හෝ නිසි පරිදි ලබා දි නැතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ දිට්වා සුළි කුණාටුවෙන් පසු ඇති වූ ආපදා තත්ත්වය රජයට කළමනාකරණය කර ගැනීමට නොහැකි වීම සම්බන්ධයෙන් අද (21) පැවති පාර්ලිමේන්තු විවාදයට එක්වෙමිනි.

එම අවස්ථාවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා...

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රධානියා කියූ දේ වැරදියට වටහා ගෙන

''අප රටේ සාමාන්‍ය සම්ප්‍රදාය වුණේ ජනතා සේවාව ඉටු කරන්නේ රාජ්‍ය බලය ලැබුවම වුවත් පවතින රජය නොතේරෙන දෙයක් වුණේ ආපදා අවස්ථාවේ සියලු දෙනා එකට එකතු වී විපතට පත් ජනතාවට සහන සලසන්න කටයුතු කළ බවයි. මේ සම්බන්ධයෙන් අසාධාරණ විවේචන රැසක් සිදු වුණා. එක්සත් ජාතීන්ගේ ප්‍රධානියා කිව්වේ රජයේ ආපදා කළමනාකරණය ගැන නොව මේ දිට්වා ආපදා සමයේ මිනිසුන් විසින් එකට එකතු වී සිදු කළ ආපදා කළමනාකරණය ගැන යි. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රධානියා කියූ දේ සමන්ත විද්‍යාරත්න ඇමතිවරයා විසින් වැරදියට වටහා ගෙන රජයට ලකුණු දමාගන්න යනවා.

11 වැනි වගන්තිය යටතේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කළා නම්...

මේ ආපදා සමයේ සහන ලබා දීම, උන්හිටිතැන් නැති වූ ජනතාවට නිවාස ඉඩකඩම් ලබා දීම, පූර්ණ හානි අර්ධ හානි සහන ලබා දීම අද මන්දගාමී වෙලා. මේ විනාශය සිදු වූ මොහොතේ ජනාධිපතිවරයා දුරකතන ඇමතුමක් දුන් බට අමාත්‍යවරයා කිව්වා. ජනාධිපතිවරයා ඒ දුරකතන ඇමතුම දෙන විට විපක්ෂය සියලු වැඩ නතර කර ජනාධිපතිවරයා හමු වී එකමුතුභාවයෙන් මුහුණ දෙන්න පැමිණියා. එවැනි තත්ත්වයක් උඩ 2005 අංක 13 දරණ ව්‍යවසන කළමනාකරණ පනතේ 11 වැනි වගන්තිය බලාත්මක නොකළේ ඇයි ද යන්න ගැටලුවක්. හදිසි තත්ත්වයක් බලාත්මක නොකළෙ ඇයි ද කියාන එකත් ගැටලුවක්. 11 වැනි වගන්තිය යටතේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කළා නම් 12 වැනි වගන්තිය යටතේ සහන කඩිනමින් සලසන්න තිබුණා.

චෝදනා නොකර හරියට වැඩ කරන්න

ලක්ෂ 50 සහනය පූර්ණ හානි සඳහාත් අර්ධ හානි සඳහා රු. ලක්ෂ 25ක් දෙනවා කියූවත් අවම වශයෙන් මරණයක් සඳහා වන රු. ලක්ෂ 10වත් හරියට දීල නෑ. කුලියට නිවාසවලට යන අයට ගෙවන මුදල් පවා හරියට දීල නෑ. කඳවුරුවල සිටින අයට අවදානම් තත්ත්වය හමුවේ නැවත නිවෙස්වලට යන්න යැයි කියන නිසා කඳවුරු අවම වෙනවා. තහඩුවට ලබා දෙන ලක්ෂ 10වත් නෑ. මේ අවස්ථාවේ ආණ්ඩුව චෝදනා නොකර හරියට වැඩ කළ යුතු යි. රජය දුන් පොරොන්දු වට්ටටෝරුවක් තිබුණත් ඒවා ක්‍රියාත්මක කරන්න නිසි ක්‍රමවේද සකස් කර නොමැති නිසා මේ සහන නිසි පරිදි දෙන්න නොහැකි වී තිබෙනවා. දැන්වත් ජනතාවට දෙනවා කියූ සහන ටික හරියට දෙන ලෙස රජයෙන් ඉල්ලා සිටිනවා. මේවා දෙනව කියල රු. බි. 500ක් අනුමත කර ගත්තත් ඒ කිසිවක් නෑ. මේ සහන හරියට දෙනවා නම් විපක්ෂය උපරිම සහයෝගය ලබා දෙනවා.

දැන්වත් ජාත්‍යන්තර ආධාරක සමුළුවක් කැඳවන්න

අප රට සුනාමියෙන්වත් පාඩම් ඉගෙන ගත්තෙ නෑ. සුනාමියෙන් පාඩම් ඉගෙන ගත්තා නම් නිවැරදි ආපදා කළමනාකරණ සැලසුමක් සකස් කළ හැකි යි. දැන්වත් ආපදා කළමනාකරණය සම්බන්ධයෙන් වෙනම ම කැබිනට් අමාත්‍යාංශයක් සකස් කර, නව ව්‍යවසායන කළමනාකරණ පනතක් ඇති කර, නව ආයතන නිර්මාණය කළ යුතු යි. මේ අවස්ථාවේ විශිෂ්ට ලෙස සේවාවක් ඉටු කළ රණවිරුවන්ට, ජනතාවට රාජ්‍ය සේවකයින්ට මෙන්ම ආධාර උපකාර කළ දෙස් විදෙස් සියලුම පාර්ශ්වයන්ට අපේ ස්තූති ය සහ ගෞරවය පුදකර සිටිනවා. ජාත්‍යන්තර ආධාරක සමුළුවක් කැඳවන්න යැයි පුනපුනාම විපක්ෂය ඉල්ලා සිටියත්, ජනාධිපතිවරයා 'අනේ ප්ලීස්' යැයි කියමින් සිටියත්, මේ අවස්ථවේ ජාත්‍යන්තර ආධාරක සමුළුවක් කැදවීම අවශ්‍ය යි. මේ අවස්ථාවේ අප රට සම්බන්ධයෙන් ලෝකයේ අවධානය යොමු වී ඇති නිසා දැන්වත් ජාත්‍යන්තර ආධාරක සමුළුවක් කැඳවන ලෙස රජයෙන් ඉල්ලා සිටිනවා.

මේ යන විදිහට ගියොත් නම් 2028 ණය ගෙවනවා බොරු

දැන් නව IMF ගිවිසුමකට යා යුතු බව මහබැංකු අධිපතිවරයා පවසනවා. ලෝක බැංකු වාර්තාව අනුව 2026 ආර්ථික වර්ධන වේගය 3.5ටත් 2027 දී 3.1ට අඩුවන බව පවසන නමුත් මේ අගය වැඩි වේවා කියා ප්‍රාර්ථනා කරනවා. මෙවැනි ආර්ථික වර්ධන වේගයක් තියාගෙන වසරකට ඇමරිකන් ඩොලර් බිලියන 4.5ක ණයක් 2028 සිට ගෙවිය නොහැකි යි. රජයට IMF එක සමග තනිවම සාකච්ඡා කළ නොහැකි නම් විපක්ෂය ද මේ සඳහා සහයෝගය ලබා දීමට සූදානම්.

උඩරට වතු ප්‍රජාව කුඩා තේ වතු හිමියන් ලෙස සවිබල ගන්වන්න

ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට රජයෙන් ණය යෝජනාවක් ක්‍රියාත්මක කළත් මේ අයගෙන් 50%ක් පමණ අසාදු ලේඛන ගත වී ඇති නිසා මේ අයට ද විසදුම් දිය යුතු යි. පාස්කු ප්‍රහාරයේ සිට දිට්වා සුළි කුණටුවා දක්වා ඛේචවාචක 4කට මේ අය මුහුණ දී ඇති නිසා දැන්වත් මේ අය ගැන සිතිය යුතු යි. ඊට අමතරව උඩරට වතු ප්‍රජාවට රු. 1750ක් දෙනවාට විපක්ෂය විරුද්ධ නෑ. මේ රු. 1750න් ඔබ්බට ගොස් වගා නොකළ මුඩු ඉඩම් ‌බෙදා දී කුඩා තේ වතු හිමියන් ලෙස සවිබල ගැන්විය යුතු යි.

දැන්වත් සෙන්දායි ක්‍රමවේදය බලාත්මක කරන්න

ආපදාවකදී හෙලිකොප්ටර් භාවිත කර සහන ලබා දීම නිවැරදි යි. මෙවර ආපදාවේ දී එක් හෙලිකොප්ටර් නියමුවෙක් පවා ජිවිතක්ෂයට පත් වුණා. ඊට අමතරව රණවිරුවන් සහ ස්වේච්ඡා ජනතාව කීප දෙනෙකු ද මිය ගියා. එවැනි කැපකිරීම් කරන විට රජයේ ඇමතිවරු හෙලිකොප්ටර් භාවිත කර මඩකලපු ගොස් මාධ්‍ය සංදර්ශන දැමුවා. ආපදා කළමනාකරණ සඳහා ලොවම පිළිගත් සෙන්දායි ක්‍රමවේදය ක්‍රියාත්මක කරන්න. හියුගෝ ව්‍යුහයේ සිට සෙන්දායි ව්‍යුහයට රට අත්සන් කර ඇති නිසා එය දැන්වත් සජීවිකරණය කළ යුතු යි. මේ තුළින් ආපදාවක දී මරණ, බලපෑම් සිදුවන කණ්ඩායම්, යටිතල පහසුකම් හානි ආදිය අවම කර ගෙන අවදානම් අවම කර ගත හැකි යි.

සමගි ජන බලවේගය තවමත් ජනතාවට ආධාර කරනවා.

පසුගිය කාලයේ ආපදා නිසා සහන සොයන්න දන්නා සියලුම තානාපතිවරු, මූල්‍ය ආයතන නියෝජිතයන්, ලෝක බැංකු ආදී සියලුම ආයතනවලට කතා කර උපරිම ආධාර ගන්න කටයුතු කළා. විපක්ෂයෙන් ඒ සියලු පාර්ශ්ව හමු වුණා. ජනතාව ගැන විපක්ෂයේ සිටත් සේවය කළා. ඊට අමතරව හුස්ම වැඩසටහන යටතේ රෝහල් 13කට ලක්ෂ 438ක අරමුදල් යටතේ ආධාර ලබා දී තිබෙනවා. විවිධ දානපතියන් සම්බන්ධ කර ගෙන මේ සියලු පරිත්‍යාග කළා. අඬබෙර ගසා ආධාර කරපු ආණ්ඩුවේ අය අද අතුරුදන් වුණාට සමගි ජන බලවේගය තවමත් ජනතාවට ආධාර කරනවා.''

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න