ගැබ්ගෙල පිළිකාව හඳුනා ගැනීම සහ ඊට අදාළ ප්‍රතිකාර සේවා සඳහා භාවිතා කරන කොල්පොස්කොපි (Colposcope) යන්ත්‍ර 12ක් දිස්ත්‍රික්ක 12ක් වෙත බෙදා දෙයි.

ගැබ්ගෙල පිළිකාව හඳුනා ගැනීම සහ ඊට අදාළ ප්‍රතිකාර සේවා සඳහා භාවිතා කරන කොල්පොස්කොපි (Colposcope) යන්ත්‍ර 12ක් දිස්ත්‍රික්ක 12ක් වෙත බෙදා දෙයි.

මෙරට කාන්තා පිළිකා අතර පස්වන ස්ථානයේ පසුවන ගැබ්ගෙල පිළිකාව හඳුනා ගැනීම සහ ඊට අදාළ ප්‍රතිකාර සේවා සිදුකිරීම සඳහා භාවිත කරනු ලබන කොල්පොස්කොපි (Colposcope) යන්ත්‍ර 12ක් ඊට අදාළ ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත බෙදා දීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ගේ ප්‍රධානත්වයෙන්  පසුගිය දා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී සිදු කෙරිණ.

මෙම එක් යන්ත්‍රයක වටිනාකම රුපියල් ලක්ෂ 60 කි.

අනුරාධපුර, බදුල්ල, මඩකලපුව, යාපනය, කුරුණෑගල, ද සොයිසා කාන්තා රෝහල, මහනුවර, ගම්පහ, මාතර, මොණරාගල, පුත්තලම, හම්බන්තොට යන දිස්ත්‍රික්කවල ස්ථාපිත ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත බෙදා දුන් මෙම යන්ත්‍ර සදහා රුපියල් මිලියන 72කට අධික මූල්‍ය ප්‍රතිපාදන  සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය වෙතින් ලබා දී ඇත. ‍

කොල්පොස්කොපි යනු කුමක් ද...?

කොල්පොස්කොපි යනු ගැබ් ගෙල සහ යෝනි මාර්ගය අවට අසාමාන්‍යතා පරීක්ෂා කිරීම සඳහා භාවිතා කරන වෛද්‍ය ක්‍රියා පටිපාටියකි. කොල්පොස්කොප් ලෙස හඳුන්වන විශේෂිත විශාලන උපකරණයක් මගින් ගැබ්ගෙල පටක පිළිබඳ සවිස්තරාත්මක දර්ශනයක් ලබා දෙන අතර, වෛද්‍යවරුන්ට අසාමාන්‍ය සෛල හෝ තුවාල හඳුනා ගැනීමට සහ ප්‍රතිකාර සිදු කිරීමට මෙම යන්ත්‍රය උපකාරී වේ. ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන් සහ නාරිවේද පිළිකා විශේෂඥ ශල්‍ය වෛද්‍යවරුන් විසින් කාන්තාවන්ගේ ගැබ්ගෙල පිළිකාව  ඇතුළු අසාමාන්‍යතා හදුනා ගැනීම සදහා මෙම යන්ත්‍රය ප්‍රතිකාර සේවා සඳහා  භාවිතා කරනු ලබයි.

සියලු ම පාසැල් ශිෂ්‍යාවන්ට 6 වසරේ දී HPV එන්නත

වර්ෂයක් තුළදී  සාමාන්‍යයෙන් 1200 පමණ රෝගීන් හඳුනා ගන්නා බවත්, මෙම පිළිකාව වළක්වා ගත හැකි පිළිකාවක් බවත්, මෙය Human Papilloma Virus එක මගින් බෝවන රෝගයක් බවත් ජාතික පිළිකා මර්දන වැඩසටහන සතු දත්ත පෙන්වා දෙයි. මෙම වෛරසයට එරෙහිව ලබා දෙන HPV එන්නත මගින් මෙය වළක්වා ගත හැකි බවත්, ශ්‍රී ලංකාවේ පාසල් ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ අවු 10 සම්පූර්ණ කළ සියලුම පාසැල් ශිෂ්‍යාවන්ට 6 වසරේ දී මෙම එන්නත ලබා දීමට කටයුතු කරන බවත්, එහි දී යම් ශිෂ්‍යාවක් මග හැරුනොත් ළඟම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙන් එම එන්නත ලබා ගැනීමට පහසුකම් සලසා ඇති බවත් එම වැඩසටහන පෙන්වා දෙයි. මෙම පිළිකාව පූර්ව පිළිකා අවධියේදී හඳුනා ගෙන ප්‍රතිකාර කිරීමට හැකි බවත්. එමගින් පිළිකාවක් බවට වර්ධනය වීම වළක්වා ගත හැකි බවත්, ජාතික පිළිකා මර්දන වැඩසටහන අවධාරණය කරයි.

වසරකට  නව රෝගීන් 1200ක්...?  

අවුරුදු 35 සහ 45 කාන්තාවන්ට සුවනාරී සායනය හරහා PAP පරීක්ෂාව නොමිලේ ලබා දෙන බවත්. අදාළ වයස් කාණ්ඩවල කාන්තාවන් මෙම සායන සදහා පැමිණ මෙම පරීක්ෂාව සිදු කරගැනීම අත්‍යවශ්‍ය කරුණක් බවත්, එනමුත්  වර්තමානයවන විට අදාළ වයස් කාණ්ඩවල කාන්තාවන්  පැමිණීමේ අඩුවක් පෙන්නුම් කරන බවත් ජාතික පිළිකා මර්දන වැඩසටහන පෙන්වා දෙයි. යෝනි මාර්ගයේ අසාමාන්‍යව සිදුවන රුධිර වහනයක් රෝගයේ මූලික ලක්ෂණයක් විය හැකි බවත්, මුල් අවස්ථාවේ පැමිණ  ප්‍රතිකාර ලබා ගැනීමෙන්  සුව කළ හැකි බවත් පෙන්වා දෙන එම වැඩසටහන එනමුත් රෝගීන් ප්‍රමාද වී පැමීණීමෙන්  රෝගීන් සුවපත් කිරීම අපහසු බවත්,  මුල්ම රෝග ලක්ෂණ සමග පැමිණීම අත්‍යවශ්‍ය බව ද සදහන් කරයි. වර්තමානය වනවිට වසරකට සාමාන්‍යයෙන් නව රෝගීන් 1200 පමණ හඳුනා ගන්නා බවත්, වසරකට රෝගීන් 180 පමණ මියයන බවත් ජාතික පිළිකා මර්දන වැඩසටහන වැඩිදුරටත් සදහන් කරයි.

සෑම වර්ෂයකම ජනවාරි මාසය ගැබ්ගෙල පිළිකා රෝගීන් පිළිබඳ දැනුවත් කිරීමේ මාසය ලෙස ද නම්කර ඇති අතර ඒ වෙනුවෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ජාතික පිළිකා මර්දන වැඩසටහන මගින් දීප ව්‍යාප්තව වැඩසටහන් රාශියක් ක්‍රියාවට නංවා ඇත.

මෙම අවස්ථාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (බෝනොවන රෝග) විශේෂඥ වෛද්‍ය චම්පිකා වික්‍රමසිංහ, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (ජීව වෛද්‍ය ඉංජිනේරු) ප්‍රසන්න හේරත්, ජාතික පිළිකා මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂ වෛද්‍ය සේනක තලගල, ප්‍රජා විශේෂඥ වෛද්‍යවරුන්වන හසරැලි ප්‍රනාන්දු, සුරාජ් පෙරේරා යන අය ඇතුළුව පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන්, ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන්, රොහල් අධ්‍යක්ෂවරුන් ඇතුළු නිලධාරීන් පිරිසක් ද එක්වූහ.

 

දීප්ති විජේතුංග - සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය මාධ්‍ය ලේකම්              

 

nalinda1

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න