වෛද්‍ය උපදේශන ගාස්තු, වැනලින් ගාස්තු හා වෛද්‍ය වෘත්තිකයන්ට ගෙවන ගාස්තු මත මෙතෙක් පනවා තිබු සියයට 15 ක් වු වැට් බද්ද ජූලි මස 1 වන දා ඉවත් කිරීමට රජය තීරණය කළ බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර පවසයි.
ඊයේ (19) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කල අතර ඒ අනුව 2016 ජනවාරී මස 1 වන දා ක්‍රියාත්මකව තිබු වැට් බදු ගාස්තුව ජුලි මස 1 දා සිට ක්‍රියාත්මක නොවනු ඇත.
එසේම අමාත්‍යවරයා සඳහන් කර සිටියේ ජනාධිපතිවරයාගේ හා අගමැතිවරයාගේ උපදෙස් මත සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සිදු කළ ඉල්ලීමක් මත මෙම යෝජනාව සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වු බවය.
2016 වසරේ දී වෛද්‍ය උපදේශන ගාස්තු මත හඳුන්වා දුන් අවස්ථාවේ දී රෝහල් කාමර ගාස්තු, වෛද්‍ය වෘත්තික ගාස්තු හා චැනල් ගාස්තු යන තෝරා ගත් සෞඛ්‍ය සේවා සැපයීමට වැට් බද්ද පණවනු ලැබූ බවත් 2016 වසරේ දී භාහිර රෝගී අංශය(OPD) සඳහා තිබු වැට් බදු වත්මන් රජය විසින් ඉවත් කළ බවත් අමාත්‍යවරයා එහිදී සිහිපත් කර සිටියේය.
කෙසේ වෙතත් පෞද්ගලික රෝහල් කාමර ගාස්තු සඳහා පනවා ඇති බදු මුදල්වල කිසිදු වෙනස් වීමක් නොමැති බව ද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කල අතර 2020 වන විට රජයේ මුළු අයවැයෙන් සියයට 5ක් සෞඛ්‍ය සඳහා වෙන් කිරීමට බලාපොරොත්තු වන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.


