සිව් වසරකට පසු ජනපතිගෙන් බැසිල්ට ඇමතුමක්

සිව් වසරකට පසු ජනපතිගෙන් බැසිල්ට ඇමතුමක්

ඒකාබද්ධ විපක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර සමගියක් ඇතිකිරීමට ගත් අවසාන උත්සාහය ද අසාර්ථක වී තිබේ.

ඒ අනුව සඳුදා (දෙසැම්බර් 11) උදෑසන ඒකාබද්ධ විපක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වශයෙනුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජනතා නිදහස් සන්ධානය ලෙසිනුත් නාමයෝජනා භාරදීම ආරම්භ කර තිබේ.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගල්නෑව ප්‍රාදේශීය සභාව සඳහා ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ සඳුදා උදෑසන අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී නාම යොජනා භාර දුන් අතර බදුල්ල දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 11ක් සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නාමයෝජනා බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට භාර දී තිබුණි.

පළාත් පාලන ආයතන 93ක් සඳහා නාමයෝජනා භාරගැනීම සඳුදා උදෑසන ආරම්භ වූ අතර ලබන 14 වෙනි දින දහවල් 12ට එය අවසන් වීමට නියමිතය. ඉතිරි පළාත් පාලන ආයතන සඳහා නාමයෝජනා ඉදිරියේදී කැඳවීමට නියමිතයි.

besil

 මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ පාර්ශවය සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පාර්ශවය අතර සමගියක් ඇතිකිරීමට පසුගිය දිනවල භික්ෂූන් වහන්සේ පිරිසක් උත්සාහ කර ඇතත් එය ද අසාර්ථකවී තිබේ.

එහි එක් පියවරක් ලෙසින් මහින්ද රාජපක්ෂ පාලනය සමයේ දේශපාලන වශයෙන් විරසකව සිටි දෙදෙනෙකු වන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ අතර දුරකථන සංවාදයක් ද සිදුව තිබේ.

ජනාධිපතිවරයා සමග දුරකථන සංවාදයක් සිදු වූ බව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ බීබීසි සිංහල සේවයට තහවුරු කළ නමුත් සාකච්ඡාව පිළිබඳව තොරතුරැ හෙළි කිරීමෙන් වැළකී සිටියේය.

ආචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියන්ගේ මැදිහත්වීමෙන් ජනාධිපතිවරයා බැසිල් රාජපක්ෂ හිටපු අමාත්‍යවරයා අමතා තිබූ බව සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කර තිබුණි. පුවත්පත පවසන පරිදි, දෙපාර්ශ්වය එකතු කිරීමේ හැකියාව පිළිබඳව එහිදී කතාබහට ලක්වී තිබේ.

  99154279 1510400 1390441947872879 930476888 nශ්‍රීයානි විජේවික්‍රම මන්ත්‍රීවරිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට සහාය පළකිරීමට තීන්දු කර තිබේ

 ජනාධිපතිවරයා සහ බැසිල් රාජපක්ෂ හිටපු අමාත්‍යවරයා අතර එවැනි කතාබහක් ඇතිවූයේ වසර හතරකට වැඩි කාලයකට පසුව බව ද වාර්තා වේ. හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ ක්‍රියාකලාපය, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහින්ද රාජපක්ෂ ආණ්ඩුවෙන් ඉවත්වීමට එක් ප්‍රධාන හේතුවක් වූ බව විශ්වාස කෙරේ.

ආචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියන් මෙන්ම එක්සත් ජාතික පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් හොබවන අතුරලියේ රතන හිමියන් ද මේ දෙපාර්ශවය එක්කිරීමේ අරමුණින් සාකච්ඡා පවත්වා තිබේ.

එම සියලු සාකච්ඡා අසාර්ථකවීමෙන් අනතුරුව ඉරිදා (දෙසැම්බර් 11) ප්‍රකාශයක් කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දුමින්ද දිසානායක අමාත්‍යවරයා, පළාත් පාලන මැතිවරණයේ දී අත, බුලත් කොළය සහ තවත් සලකුණු අනුව ශ්‍රීලනිපය ක්‍රම තුනකින් තරග කරන බව නිවේදනය කළේය.

දිස්ත්‍රික්ක කිහිපයකට අත ලකුණින්ද තවත් දිස්ත්‍රික්ක කිහිපයකට බුලත් කොළයෙන් ද තරග කරන බව පැවසූ ඔහු තවත් පළාත් පාලන ආයතන කිහිපයක් සඳහා සුළු පක්ෂ සමග එක්ව වෙනත් ඡන්ද ලකුණකින් තරග කරන බව කියා සිටියේය.

 පිල් මාරුව ඇරඹේ :

 මේ අතර පළාත් පාලන මැතිවරණය කේන්ද්‍ර කරගනිමින් සිදුවන පිල් මාරුව ආරම්භ කරමින් ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කළ දිනේශ් ගුණවර්ධන මන්ත්‍රීවරයාගේ නායකත්වයෙන් යුත් මහජන එක්සත් පෙරමුණේ දිගාමඩුල්ල දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රීනි ශ්‍රියානි විජේවික්‍රම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට සහාය පළකිරීමට තීන්දු කර තිබේ.

ඉරිදා පස්වරුවේ ජනාධිපති නිල නිවසේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හමූ වූ ශ්‍රියානි විජේවික්‍රම මන්ත්‍රීවරිය, ජනාධිපතිතුමා ගෙන යන වැඩපිළිවෙළ සමග එක්වෙමින් ඉදිරි දේශපාලන කටයුතුවල නිරත වන්නේ යයි සඳහන් කළ බව ජනාධිපති කාර්යාලය නිවේදනය කළේය.

අලියා ලකුණින් මෙවර මැතිවරණයට ඉදිරිපත්වන එක්සත් ජාතික පක්ෂයේ නාමයෝජනා සැකසීම තවමත් සිදුවෙමින් පවතින බව පක්ෂයේ මහලේකම කබීර් හෂීම් පැවසීය.

(බීබීසී සිංහල සේවය)

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න