රාජපක්ෂ පාලන සමය වූ 2009 සිට 2014 දක්වා වසර 05ක කාලය තුළ පමණක් වී අලෙවි මණ්ඩලයට රුපියල් මිලියන 7,152.95 ක අලාභයක් සිදු වී ඇතැයි එහි සභාපති උපාලි මොහොට්ටි පවසයි.
වී අලෙවි මණ්ඩලයේ සභාපතිවරයා මේ බව සඳහන් කර ඇත්තේ වී අලෙවි මණ්ඩලයේ ඉදිරි කටයුතු පිළිබඳව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සමඟ පැවති ප‍්‍රගති සමාලෝචන සාකච්ඡාවක දී ය.
මෙතරම් පාඩුවක් වී අලෙවි මණ්ඩලයට සිදුව ඇත්තේ එම රජය දුන් වැරදි තීන්දු ක්‍රියාත්මක කිරීමෙන් බව සඳහන් කරන සභාපතිවරයා සෝමාලියාවට නොමිලේ සහල් සැපයීම, කිලෝවක් රුපියල් 42 බැගින් මිලදී ගත් වී මෙටි‍්‍රක් ටොන් විශාල ප‍්‍රමාණයක් සත්ව ආහාර වශයෙන් පෞද්ගලික අංශයට කිලෝවක් රුපියල් 24 බැගින් අලෙවි කිරීම වැනි කාරනා ඊට නිදර්ශන ලෙස දක්වා ඇත.
වී අලෙවි මණ්ඩලය රජයේ ආයතනයක් වශයෙන් පසුගිය කාලය පුරා පාඩු පිට පවත්වාගෙන ගිය ආයතනයක් බව ද මෙහිදී සභාපතිවරයා විසින් අනාවරණය කර ඇති අතර වී අලෙවි මණ්ඩලය ලාභ ලබන ආයතනයක් බවට පත් කිරීම සඳහා වත්මන් රජය යටතේ වැඩපිළිවෙළ රැසක් ආරම්භ කර ඇති බවද සඳහන් කර ඇත.
ඒ අනුව වී අලෙවි මණ්ඩලය විසින් පී.එම්.බී රයිස් නමින් සහන මිලට සහල් අලෙවි කිරීමේ වැඩපිලිවෙලක් ඉදිරි මාස 2 තුළ ක‍්‍රියාත්මක කරන බවත් 2018 යල කන්නයේ දී වී මෙටි‍්‍රක් ටොන් 20,000ක් මිල දී ගැනීම සඳහා රට පුරා වී මිලදී ගැනීමේ මධ්‍යස්ථාන 225ක් ඇරඹීමට මේ වන විටත් අවශ්‍ය පියවර ගෙන ඇති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.

