තම පෙරමුණේ ආදර්ශය වන්නේ හිට්ලර්ගේ පාලන තන්ත්‍රය නොවන බව රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි සහ ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ ප්‍රධාන ලේකම් වාසුදේව නානායක්කාර පවසයි.
ඊයේ (25දා) කොළඹදී පැවැති සමාජවාදී ජනතා පෙරමුණේ මාධ්‍ය හමුවට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කර ඇත.
රටේ ගරුකටයුතු ස්වාමීන් වහන්සේ නමක් හිට්ලර්ගේ ආදර්ශයන් මතුකිරීමට උත්සාහ කරනවා නම් එය වැරැදි සහගත ක්‍රියාවක් බවද වාසුදේව මහතා ප්‍රකාශ කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා, මේ රටේ මිලිටරි පාලනයක් ඇතිවිය යුතුයි කියලා ස්වාමීන් වහන්සේ නමක් ප්‍රකාශ කරනවා නම් අපි එම ප්‍රකාශය හෙළා දකිනවා. ඒ ස්වාමීන් වහන්සේ එවැනි දෙයක් කිව්වේ මේ රටේ පාලනය පිළිබඳ ප්‍රශ්නයක් තිබෙන නිසයි. හොඳ අදහසකින් වැරැදි යෝජනාවක් කළේ දැන් මේ නිසා පැති බෙදීමකුත් සිද්ධවෙලා.
එය ඉතා භයානකයි. ආණ්ඩුවේ ප්‍රකාශකයන් මෙම ප්‍රකාශය හෙළා දැකලා කතා කරනවා. මේ ප්‍රකාශය ආරක්ෂා කිරීම සඳහා සමහරු කතා කරනවා. මේ ප්‍රකාශයට විරුද්ධව කරුණු දක්වන කවුරු වුණත් ආණ්ඩුවේ කුලීකාරයන් කියලා කියනවා නම් මේ ප්‍රකාශය ආරක්ෂා කරන්න කරුණු දක්වන හැමෝම ෆැසිස්ට්වාදයේ කුලී කාරයනුයි. අපිට ආණ්ඩුවේ කුලී කාරයන් වෙන්න ඕනෙත් නැහැ. ෆැසිස්ට්වාදයේ කුලීකාරයන් වෙන්න ඕනෙත් නැහැ. අපිට තිබෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ මාවත පමණයි.

