Image

මානුෂික යැයි හැඳින් වූ යුද්ධයෙන් පසු එහි ම්ලේච්ඡත්වය ලෝකයේ ම කතා බහට ලක් වුණා - ඉන්ද්‍රානන්ද ද සිල්වා

මානුෂික යැයි හැඳින් වූ යුද්ධයෙන් පසු එහි ම්ලේච්ඡත්වය ලෝකයේ ම කතා බහට ලක් වුණා - ඉන්ද්‍රානන්ද ද සිල්වා

තිස් වසරක යුද්ධය අවසානය මානුෂික යුද්ධයක් ලෙස හැඳින්වු ද යුද්ධයෙන් අනතුරුව සමාජයේ කතා බහට ලක්වූ සුදු කොඩි කතා ඇතුළු විවිධ සිදුවීම් හේතුවෙන් එම යුද්ධයේ ම්ලේච්ඡත්වය ලෝකය පුරා ම කතා බහට ලක් වූයේ යැයි අයිතිය ව්‍යාපාරයේ කැඳවුම්කරු, පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මධ්‍යමකාරක සභික ඉන්ද්‍රානන්ද ද සිල්වා පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ සම අයිතිය ව්‍යාපාරය විසින් සංවිධානය කරන ලද ''මුල්ලිවයික්කාල්වලින් ඉතිහාසය අවසන්ද?'' යන මැයෙන් ඊයේ (16) කිංසි පාරේ පිහිටි SEDEC ශාලාවේ පැවති සම්මන්ත්‍රණයේ දී ය.

එම සම්මන්ත්‍රණයේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ ඉන්ද්‍රානන්ද ද සිල්වා...

යුද ජයග්‍රහණයක් සමරන්න අපිට පුළුවන් ද...?

"2009 පස්සේ ගෙවුණු ආව සෑම මැයි 18 වෙනිදාවක් ම සිංහල සහ දෙමළ ජනතාව වෙනස් ආකාරයට තමයි සමරන්නේ. සිංහල ජනතාව මේ දිනය ඉතාම් සතුටින් සමරද්දි සහෝදර දෙමළ ජනතාව ශෝකයෙන් යුතුව සමරන දිනයක් බවට මේ දිනය පත් වෙලා. අපි දන්නවා පාලකයෝ තිස් වසරක යුද්ධයේ අවසානය අපිට හැඳින්වුවේ මානුෂික යුද්ධයක් විදිහට. නමුත් ඒ යුද්ධයෙන් පස්සේ සුදු කොඩි කතා ඇතුළු විවිධ සිදුවීම් නිසා මේ යුද්ධයේ ම්ලේච්ඡත්වය ගැන ලෝකය පුරාම කතාබහක් ඇති වුණා. මේ යුද්ධය අවසානයේ පාවිච්චි වුණේ මහින්ද රාජපක්ෂලාව ජාතික වීරයින් බවට පත් කරන්න විතරයි. අදටත් මේ යුද්ධය නිසා ඝාතනය වුණු දහස් ගණනක් උතුරේ අහිංසක දෙමළ ජනතාව ගැන කතාවක් නැහැ. යුද්ධයේ අන්තිම කාලේ හමුදාවට බාර වුණු උතුරේ තරුණ තරුණයින්ගෙන් විශාල ප්‍රමාණයක් අදටත් අතුරදන් වෙලා. ඒ නිසා මේ යුද්ධය නිසා උතුරේ ජනතාවට විශාල අහිමිවීම් ප්‍රමාණයක් වුණා කියන ඇත්ත අපි පිළිගන්න ඕන. එහෙම තත්ත්වයක් ඇතුළෙ අපිට පුළුවන් කමක් නැහැ යුද ජයග්‍රහණයක් සමරන්න. නමුත් අපි දැක්කා පහුගිය කාලෙම රටේ පාලකයෝ මැයි 18 යුද සැමරුම භාවිතා කලේම උතුරට එරෙහිව දකුණේ ජනතාවගේ හිත් තුළ ජාතිවාදය අවුස්සන අරමුණින්.

යුද්ධයට හේතුව තවමත් සක්‍රීය යි

ඉතිහාසක් පුරාවටම මේ රටේ ආර්ථික ප්‍රශනවලට හේතුව යුද්ධය කියලා තමයි මේ රටේ පාලකයෝ පෙන්නුවේ. හැබැයි යුද්ධය ඉවර වෙලා දශකයක් වෙනවත් එක්කම  රට විශාල ආර්ථික අර්බුදයකට ගොදුරු වුණා. ඒ නිසා හැම අර්බුදයට ම හේතුව යුද්ධය කියලා කියපු පාලකයන්ගේ ප්‍රකාශ අද බොරු වෙලා ඉවරයි. අනිත් කාරණය තමයි අපි දන්නවා දෙමළ ජනතාව ගේ සන්නද්ධ නැගිටීම ඉබේ සිදු වුණු දෙයක් නෙවෙයි. යාපන පුස්තකාලය ගිනි තැබීමේ සිද්ධිය. 83 දෙමළ ජනතාවට එරෙහිව දියත් කළ වාර්ගික සංහාරය ඇතුළු බරපතළ විදිහට දේශපානලනිකව උතුර පීඩාවට පත් කරපු ඉතිහාසයක් තමයි අපිට තිබුණේ. අන්න ඒ පීඩනය එක්ක තමයි තිස් වසරක් තිස්සේ අපේ රටට බරපතළ විදිහට තුවාල සිදුවුණු යුද්ධයක් ආරම්භ වුණේ. දැන් ඒ යුද්ධය ඉවර වෙලා දශක දෙකක් වෙන්නත් ආසන්නයි. හැබැයි ඒ යුද්ධය ඇතිවෙන්න හේතුවුණු සිදුවීම් තවමත් අවසන් වෙලා නැහැ.

කොමිෂන් සභා තීන්දු අක්‍රීය යි

උතුරේ ජනතාව ගෙන් බලහත්කාරයෙන් අත්පත් කරගත් ඉඩම්වල තවම තියෙන්නේ හමුදා කඳවුරු. අදටත් ඒ ඉඩම් මිනිස්සුට ලබා දීලා නැහැ. මුළු උතුරම අදටත් තියෙන්නේ එළිමහන් සිර කඳවුරක් වගේ. හැමතැනම හමුදා මුරපොළවල්. අපි දන්නවා යුද්ධය කාලේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතින් අත් අඩංගුවට ගත් තරුණයෝ විශාල ප්‍රමාණයක් අදටත් ඉන්නවා හිරගෙවල්ව. ඔවුන්ට අදටත් යුක්තියක් නැහැ. උතුරේ ඉන්න කලාකරුවෙක්ට අදටත් නිදහසේ තමන්ට දැනෙන දේ කවියකින්වත් ලියන්න නිදහස නැහැ. පසුගිය දවස්වල දීපචෙල්වම් ගේ සිද්ධියෙන් අපිට පේන්න තිබුණෙත් ඒ දේම තමයි. මේ ජාතික ප්‍රශ්නය විසඳන්න පසුගිය කාලේ විවිධ කොමිෂන් සභා පත් වුණා. ඒවට ඇවිල්ලා දහස් ගණනක් මිනිස්සු සාක්ෂි දුන්නා. හැබැයි ඒ එකක්වත් අදටත් ක්‍රියාත්මක වෙන්නේ නැහැ.

මාලිමා ආණ්ඩුවත් උතුරේ ජනතාව ගේ ප්‍රශ්නය පාවිච්චි කරනවා

මෙහෙම තත්ත්වයක් ඇතුළෙ තමයි ජනතාව විකල්පයක් විදිහට ජාතික ජන බලවේග ආණ්ඩුව බලයට පත් කරගත්තේ. ලංකාවේ මැතිවරණ ඉතිහාසයේ පළමු වතාවට තමයි උතුරේ ජනතාව දකුණේ දේශපානලන පක්ෂයක් දිනවන්න මැදිහත් වුණේ. ඔවුන් බලාපොරොත්තු වුනා තමන්ව පීඩාවට පත් කරන ජාතික ප්‍රශ්නයට මේ ආණ්ඩුවෙන්වත් සාධාරණ විසඳුමක් ලැබෙයි කියලා. හැබැයි අපිට පේනවා අනුර දිසානාය ප්‍රමුඛ මාලිමා ආණ්ඩුවත් කරන්නේ තමන්ගේ පටු දේශපානලන අරමුණු වෙනුවෙන් උතුරේ ජනතාවගේ ප්‍රශ්නය පාවිච්චි කරන එක. ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත අහෝසි කරන්න කියල දිගටම සඨන් කරපු මාලිමාව අද බලය ගත්තට පස්සෙ ඊටත් වඩා භයානක මර්දන පනතක් ගේන්න සූදානම් වෙනවා. අර දීපචෙල්වන් කියන කවියගේ සාහිත්‍ය කෘති ජාතික ආරක්ෂාවට තර්ජනයක් කියලා රේගු භාරයේ තියාගෙන ඉන්නවා. ඒවා ගැන කතාකරද්දි ආණ්ඩුව කියනවා අපෝ ඕවා කතාකරන්න එපා තුවාල පෑරෙයිලු. අපි අහන්නේ තවත් අමුතුවෙන් පෑරෙන්න තියෙන තුවාල මොනවද ? දේශපානලන වේදිකාවල මේගොල්ලො බලය බෙදීම ගැන කතාරනවා. හැබැයි අවුරුදු 15කින් පළාත් සභා මැතිවරණේය තියලා නැහැ. එදා මහින්ද රාජපක්ෂ පළාත් සභා මැතිවරණ රැල්ලට තියාගෙන ගියේ තැටිය රත් වෙලා තියෙද්දි රොටිය පුච්චගන්න ඕන කියලා. හැබැයි දැන් තැටිය රත් වෙලා නෙමෙයි තැටිය අන්ජබජල් වෙලා තියෙන්නේ.

මලහෛ තමිල් ජනතාව මේ රටේ ජාතියක් විදිහට පිළිගත යුතුයි

දැන් යුද්ධය භෞතිකව ඉවරවෙලා සෑහෙන කාලයක් ගිහිල්ලා ඉවරයි. තවමත් මේ රටේ පාලකයෝ පාරමින් ඉන්න ජාතිවාදී තුවාල දැන්වත් අවසන් වෙන්න ඕන. අපි හිතනවා මේ රටේ සිංහල ජනතාවට වගේම දෙමළ, මුස්ලිම් සහ මලහෛ තමිල් ජනතාවටත් දේශපානලන අයිතිය සමානව ලැබෙන්න ඕන. අන්න ඒ බලය ඔවුන්ට ප්‍රායෝගිකව අත් හදා බලන්න පුලුවන් වෙන්නේ ස්වයං පාලන ප්‍රදේශ සහිත බලය බෙදාහැරීමක් ලැබුණොත් විතරයි. අනිත් එක තමයි පාර්ලිමේන්තුවේ සම්මත වෙන ජාතීන්ගේ ප්‍රශනවලට සහ ආගමික ප්‍රශ්නවලට අදාළවෙන අණපනත් නැවත පරික්ෂා කළ හැකි ද්වි මණ්ඩල ව්‍යවස්ථාවක් හැදෙන්න ඕන. මේ ද්විමණ්ඩලය ඇතුළේ මේ එ රටේ සියලු ජන කොටස්වලට සමාන නියෝජනයක් ලැබිය යුතුයි. දැන් අවුරුදු 200ක් තිස්සේ මේ රටේ ජීවත් වෙම මලහෛ තමිල් ජනතාව තවම මේ රටේ ජාතියක් විදිහට පිළිගන්නේ නැහැ. තොණ්ඩමන්ලගේ ඉඳලා වතුකරයේ දේශපානලන නායකයෝ කලේ ඒ ජනතාවගේ ප්‍රශනය තමන්ගේ බලය ගන්න පාවිච්චි කරපු එක විතරයි. එදා ඉඳලම වතු සමාගම් තමන්ගේ ලාභ රේට්ටු වැඩිකරගන්න මේ ජනතාවගේ ලේ දහදිය පවා හූරගෙන කෑවා. ඒ නිසා දැන්වත් මේ ප්‍රශ්නය විසඳෙන්න ඕන. ඒ විසඳීම ලැබෙන්නේ මලහෛ තමිල් ජනතාව මේ රටේ ජාතියක් විදිහට පිළිගත්තොත් විතරයි. ඒ වගේම ඉඩමක නිවසක අයිතිය වගේම අධ්‍යාපනයට සහ සෞඛ්‍යයට ඒ ජනතාවට අයිතිය ලැබෙන්න ඕන. මෙන්න මේවා තමයි අපි ලංකාවේ ජාතික ගැටලුවට විසඳුම් විදිහට ඉදිරිපත් කරන්න යෝජනා වෙන්නේ.

වෘත්තයක ගමන් කරන විට ඉතිහාසය නැවත හමු වෙනවා

ඉස්සර TV එකේ ගියා අශෝක හඳගමගේ සින්තටික් සිහින කියලා ටෙලිනාට්‍යක්. මේ නාට්‍යයේ එක් තැනක කියනවා අපි වෘත්තයක ගමන් කරනකොට ඉතිහාසෙදි අත්වින්ද සිදුවීම් නැවත නැවත හමු වෙනවා කියලා. අපි අපේ රටේ දේශපානලනය ඇතුළේ මේ කටුක ඇත්ත නැවත නැවතත් අත් විඳලා තියෙනවා. අර උතුරේ ජනතාවගේ කඳුළු, වතුකරයේ කම්කරුවන්ගේ දහදිය ලේ සුවඳ, මුස්ලිම් ජනතාවගේ පීඩනය අපිට නැවත නැවතත් හමුවෙන්න නියමිතයි. ඒ නිසා මේ චක්‍රය අපි දැන්වත් බිඳින්න ඕන. නැවත නැවත ඉතිහාසය අපිට මුණ ගැසෙන මේ මෙලෙච්ඡ ක්‍රමය අවසන් කිරීමේ කාර්‍ය පැවරිලා තියෙන්නේ වර්තාමන පරම්පරාවට. හැබැයි ඒක අපිට තනිවම කරන්න පුළුවන් කමක් නැහැ. මේ රටේ සිංහල, දෙමළ, මුස්ලිම් සහ මලහෛ තමිල් ජනතාව එකතුවුණු පුළු මහජන බලයක් අපි ගොඩනගන්න ඕන. එවැනි මහජන බලයකින් අපිට පුළුවන් කමක් ලැබෙනවා මේ රටේ පාලකයෝ ගන්න ජනතාද්‍රෝහී වැඩපිළිවෙළවල් ආපස්සට හරවන්න."

එම සම්මන්ත්‍රණයේ දී අදහස් දැක්වූ පරිසරවේදී වෑකඳවල රාහුල හිමි

හැම කටයුත්තක දි ම උතුර බරපතළ වෙනස්කම්වලට මුහුණ දුන්නා

"අද පාර්ලිමේන්තු පාරේ මම එනකොට දැක්කා යුද සැමරුම උත්සවාකාරයෙන් තියන්න පාලකයෝ සූදානම් වෙනවා. මෙතනින් ටිකක් අතීතයට හැරිලා බැලුවොත් අපිට මතක් වෙන්නේ උතුරේ යුද්ධයට ගිය හමුදා සෙබළුන්ගේ මළසිරුරු පෙට්ටිවලින් සිංහල ගම්මානවලට ආව විදිහ. එදා ඔවුන්ව ජාතික වීරයින් විදිහට තමයි සමාජය ඇතුළෙ පරිකල්පනය කරලා තිබුණේ. හැබැයි අපි දන්නවා උතුරේ යුද්ධයට ගිය තරුණ තරුණියෝ කවුරුවත් ජාතික වීරයෝ වෙන්න හිතාගෙන හමුදාවට බැඳුණේ නැහැ. මේ ආර්ථික ක්‍රමය විසින් දුප්පත්කම විසින් තමයි ඔවුන්ව ඒ තත්ත්වයට ඇදලා දැම්මේ.

අපි දන්නවා ඇත්තටම මේ රටේ සිංහල මුස්ලිම් දෙමළ කිසිඳු මනුස්සයෙක්ට අවශ්‍යතාවයක් තිබුණේ නැහැ අනෙකාට විරුද්ධව ආයුධ අතට ගන්න. හැමෝම කැමති වුණේ මේ අපේ රට කියන්න. හැමෝටම අවශ්‍ය වුණේ මේ ගහකොළ මේ පොළොව සමානව භුක්ති විඳිමින් ජීවත් වෙන්න. හැබැයි එක පිරිසකට ඒ අයිතිය අහිම් වෙනවනම්, තවදුරත් මේ අපේ රට කියලා කියන්න බැරි තත්වයක් උදා වෙනවනම් ඔවුන්ට වෙන්නේ සටන් කරන්න තමයි. අපි දන්න්වා පහුගිය දශක කිහිපය පුරාවටම මේ රටේ දේශපානලනය උතුරට සැලකුවේ දෙවැනිකොට සලකලා. ආර්ථිකය ඇතුළේ, අධ්‍යාපනයෙදි සෞඛ්‍යයයේ දී, වගේම භාෂාව සම්බන්ධ කාරණාවලදීත් උතුර බරපතළ වෙනස්කම්වලට මුහුණ දුන්නා. ඒ තත්වය නිසා තමයි අපිට අවුරුදු තිහක් තිස්සේ මෙලෙච්ඡ යුද්ධයකට මුහුණ දෙන්න සිදුවුණේ.

නමුත් අපි හිතනවා මේ ජාතික පීඩනය තවදුරටත් ඇදගෙන යා යුතු නැහැ. කවියක් ලියපු උතුරේ දීපචෙල්වන්ට ක්‍රියාත්ම වෙන නීතිය අන්න අටමස්ථානාධිපති දරුවෙක් දූෂණය කළාම ඇඹරෙනවා. ඉතින් මේ ක්‍රමය සාධාරණ ද ? ඒ නිසා අපි හිතනවා මේ රටේ ජාතික ගැටලුවට දැන්වත් දේශපානලන විසඳුමක් අවශ්‍යයි කියලා. එහෙම නොවුනොත් හෙටත් වෙන්නේ මේ පෑරෙන තුවාල උඩ ඉඳගෙන ජාතිවාදීන් බල්ටි ගහන එක."

එම අවස්ථාවේ දී අදහස් දැක්වූ දේශපානලන ක්‍රියාකාරී ජීවන්ත පීරිස් පියතුමා

මානුෂික යුද්ධයක් කියලා හැඳින්වුවාට එතන තිබුණේ වාර්ගික සංහාරයක්

"අදටත් අපි කියවගන්නේ මේ රටේ සිංහල ජාතිකවාදී ප්‍රභූ පන්තිය විසින් නිර්මාණය කරපු ඉතිහාසයක් විතරයි. හැබැයි හැම වෙලාවෙම මේ රටේ සැඟවුණු නිර් ප්‍රභූ ජනතාවගේ ඉතිහාසයක් තිබුණා. අපි දන්නවා යුද්ධයේ අන්තිම කාලේ උතුරේ දෙමළ ජනතාව වෙල්ලමුල්ලි වෛක්කාල් ඉඳලා නන්දිකඩාල් වෙනකල් හිටියේ සම්පූර්ණයෙන් සිරවුණු භූමියක. එදා ඔවුන්ට උරුමවෙලා තිබුණේ සාමූහික මරණයක් විතරයි. එදා උතුරට බරපතළ සම්බාධක ප්‍රමාණයක් දාලා තිබුණා. ඔවුන්ට ආහාර ලැබුණේ නැහැ. ඔවුන්ට ඖෂධ ලැබුණේ නැහැ. ඇත්තටම එදා මානුෂික යුද්ධයක් කියලා හැඳින්වුවාට එතන තිබුණේ වාර්ගික සංහාරයක්. එදා ඒ මිනිස්සු එක්ක හිටපු ෆාදර් ප්‍රැන්සිස් ජෝශොප් පියතුමා රෝමයට ලියලා යවනවා ලිපියක්. ඔහු ඒ ලිපියේ ලියනවා ලංකාවේ රජය මේ යුද්ධය කරන්නේ දෙමළ ජනතාව සමූල ඝාතනය කිරීමේ අරමුණෙන් කියලා. මේක වාර්ගික ජන සංහාරයක් කියන්න සාක්ෂි ඕන තරම් තිබුණා. මල්ටි බැරල් ප්‍රාහාර, පොකුරු බෝම්බ පිට පිට උතුරට කඩා වැටෙද්දි මරණය වැලඳ ගැනීම හැර වෙනත් විකල්පයක් එදා උතුරට ඉතුරු වෙලා තිබුණේ නැහැ.

                    අපි දන්නවා 2009 ජනවාරි ඉඳලා මැයි 18 වෙනකල් කාලය ඇතුළේ විතරක් එක්ලක්ෂ හතළිස් හයාදාහක් අතුරදන් වුණා. එදා හමුදා ට්‍රක් එකකට පටවගත්ත ප්‍රැන්සිස් ජෝශප් පියතුමා ඇතුළු පිරිසත් ඒ ලයිස්තුවේ ඉන්නවා. එදා උතුරට එරෙහිව දියත් වුණේ වාර්ගික සංහාරයක් කියන එක හොඳටම පැහැදිලියි. දරුවන් කාන්තාවන් පවා මේ යුද්ධය ඇතුළේ ඝාතනය වුණා. තාරකී කියලා හඳුන්වන ශිවරාම් වැනි කවියන් පවා මේ කාලේ ඝාතන වුණා. ඒ ඝාතනය වුණේ ඔවුන් මේ ඇත්ත ගැන ලියපු නිසා. ඒ නිසා අපි හිතනවා උතුරේ යුද්ධය සරලව කතාකරන්න පුළුවන් කමක් නැහැ. මේ යුද්ධය ඇතුළේ අපෙන් වසන් කරපු කතන්දර ගොඩක් තියනවා.

යුද්ධයේ තුවාල සුවපත් වන්නට නම්...

                  දැන් යුද්ධය ඉවර වෙලා දශක දෙකක් වෙන්නත් ළඟයි. අපි දන්නවා 1948 ඉඳලා 2026 වෙනකල් මේ රට පාලනය කලේ සිංහල ජාතිකවාදී ආණ්ඩු විසින්. ඒ සියලු අණ්ඩු කළේ උතුරේ ජනතාව තමන්ගේම වර්ගයක් විදිහට පිළිගන්න එක ප්‍රතික්ෂේප කරපු එක. ඔවුන් දකුණේ ජනතාවගේ දෘෂ්ටිවාදය තුළ දෙමළ ජනතාව ගැන හැමවෙලාවෙම ඇති කළේ වෛරයක්. මේ නිසා තමයි තිස් අවුරුදු යුද්ධයකින් අපිට වන්දි ගෙවන්න වුණේ. අපි දැන්වත් උතුරේ දෙමළ ජනතාව ගෙන් උදුරාගත් දේශපානලන අයිතිවාසිකම් ලබා දෙන්න ඕන. ඒ වගේම තමයි සිදුවුණු වාර්ගික සංහාරය වෙනුවෙන් ඔවුන්ට යුක්තිය ලැබෙන්න ඕන. අන්න එදාට තමයි යුද්ධයේ තුවාල සුවපත් වෙන්නේ."

සටහන - ජයසිරි අලවත්ත

 

WhatsApp Image 2026 05 17 at 10.31.19 AM

WhatsApp Image 2026 05 17 at 10.31.20 AM

WhatsApp Image 2026 05 17 at 10.31.17 AM 1

 

WhatsApp Image 2026 05 17 at 10.31.16 AM

 

WhatsApp Image 2026 05 17 at 10.31.15 AM

 

WhatsApp Image 2026 05 17 at 10.31.14 AM

WhatsApp Image 2026 05 17 at 10.31.13 AM

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න