මැතිවරණයට චීන සල්ලි ලැබුන බව ජාතික මෙහෙයුම් කමිටුව දන්නෙත් නෑ !

මැතිවරණයට චීන සල්ලි ලැබුන බව ජාතික මෙහෙයුම් කමිටුව දන්නෙත් නෑ !

2015 ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතු සඳහා චීන සමාගමකින් ඇමරිකානු ඩොලර් මිලියන 7.6 කට අධික මුදලක් ලැබුණ බවක් කිසිඳු ලෙසකින් දැනුවත්ව සිට නැති බව අනාවරණය වෙයි.

එවකට එක්සත් ජනතා නිදහස්  සන්ධානයේ මහ ලේකම් ලෙස සුසිල් ප්‍රේමජයන්ත ද ශ්‍රීලනිප මහ ලේකම් ලෙස අනුර ප්‍රියදර්ශන යාපා මහතාද පසුගිය ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතා දිනවීම සඳහා වූ ජාතික මෙහෙයුම් කමිටුවේ ප්‍රධානින් ලෙස කටයුතු කරනු ලැබිණ.

එහෙත් මේ වන විටත් පාර්ලිමේන්තු මන්ත්‍රී  සුසිල් ප්‍රේමජයන්ත මාධ්‍ය හමුවේ සඳහන් කර ඇත්තේ පසුගිය ජනාධිපතිවරණ අවස්ථාවේ ඇමරිකානු ඩොලර් මිලියන 7.6ක් තරම් අධික මුදලක් ප්‍රචාරණ කටයුතු වෙනුවෙන් ලැබුණු බවට තමන් දැනුවත් නොමැති බවය.

එහෙත් මහින්ද රාජපක්ෂගේ ජාතික  මැතිවරණ මෙහෙයුම් කමිටුවේ ප්‍රධානියා වූ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මෙතෙක් ඒ ගැන ප්‍රකාශයක් නිකුත් කර නොමැත.

මේ පිළිබඳ විමසු විට ශ්‍රීලනිප ප්‍රබලයකු අන්දහන් කර සිටියේ සුසිල් ප්‍රේමජයන්ත සහ අනුර ප්‍රියදර්ශන යාපා පසුගිය ජනාධිපතිවරණ සමයේ නමට පමණක් ජාතික මැතිවරණ මෙහෙයුම් කමිටුව භාරව සිටි නමුත් ඔවුන්ට කිසිඳු බලයක් නොතිබූ බවය.

මැතිවරණයේ සියලු කටයුතු මෙහෙයවීම සම්බන්ධව කටයුතු භාරව සිටියේ බැසිල් රාජපක්ෂ ප්‍රමුඛ පවුලේ හිතවතුන් බවත් මැතිවරණයේ මුදල් ද රාජපක්ෂ පවුල විසින්ම හැසිරවූ බවද ඔහු පැවසීය.

ඊට  හේතු වූයේ එවකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් වශයෙන් කටයුතු කරමින් සිටි මෛත්‍රීපාල සිරිසේන විපක්ෂයේ පොදු අපේක්ෂකයා වීම සහ ඔහු ඒ අවස්ථාව ගන්නා බව පක්ෂයේ කිසිවකු රාජපක්ෂලාව දැනුවත් නොකිරීම බවත් ඒ වන විටත් රාජපක්ෂ පාලනය ගැන කළකිරීම හේතුවෙන් තවත් ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයින් පක්ෂය අත්හැර විපක්ෂයට එක්වනු ඇති බවට රාජපක්ෂ පවුල දැඩි සැකයකින් පසුවීම බවද ඔහු පෙන්වා දුන්නේය.

කෙසේ වුවත් චීන සමාගමකින් මෙතරම් මුදලක් ලැබුන බවක් වාර්තා වුවද පසුගිය ජනාධිපතිවරණයේ මෙහෙයුම් කටයුතු වෙනුවෙන් ගමනා ගමන මණ්ඩලයට හා ප්‍රචාරක කටයුතු වෙනුවෙන් ස්වාධින රුපවාහිනියට ගෙවියයුතු ලක්ෂ ගණනක හිඟ මුදලක් මෙතෙක් ගෙවා නොමැති අතර ඒ සම්බන්ධයෙන් නඩු විභාගයක් ද පැවැත්වේ.

එසේම  එවකට ජාතික මැතිවරණ මෙහෙයුම් කමිටුව භාරව සිටි සුසිල් ප්‍රේමජයන්ත සහ අනුර ප්‍රියදර්ශන යන මන්ත්‍රීවරුන් මේ වන විටත් ඒකාබද්ධ විපක්ෂයට එක්ව ඇත. ඒ අනුව ඔවුන් දෙදෙනාගෙන් කුමන ආකාරයේ පිළිතුරක් ලැබුනද කුමන ආකාරයේ ප්‍රතිචාරයක් දැක්වුවද එය මෙම කාරණය සම්බන්ධයෙන් මතුව තිබෙන 'සැකය' ප්‍රතික්ෂේප කල නොහැකි පසුබිමක් පවතී.

ඒ අනුව මහින්දට මේ කියන මුදල ලැබුනේද ? එතරම් විශාල මුදලක් ලැබීම  ජාතික කමිටුවට වසන් කලේ ඇයි ? එම දැවැන්ත ධනස්කන්දය තමන්ගේ සන්තකයේ තබා ගැනීමට ද ? එමෙන්ම තවමත් එම මැතිවරණයට අදාලව රාජ්‍ය ආයතනවලට ගෙවිය යුතු මුදල් නොගෙවා පහර හරින්නේ ඇයි ? යන ප්‍රශ්න තවමත් විසඳුමක් නොමැතිව පවතී.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න