ශ්‍රී ලංකන් ගුවන් සමාගම තමන්ට ගෙවිය යුතු හිඟ මුදල් එළඹෙන බදදා (04) වන විට ලබා නොදෙන්නේ නම් ඉන්ධන සැපයීම අත්හිටුවීමට පියවර ගන්නා බව ඛනිජ තෙල් සංස්ථාව සඳහන් කර සිටියි.
ඒ සඳහා වන සිහි කැඳවීම් ලිපිය මේ වන විටත් ශ්‍රීලංකන් ගුවන් සමාගමට යොමු කර ඇති බවද වාර්තා වන ඒ ඛනිජ තෙල් සංස්ථාව සමග ඇතිකරගත් එකඟතාවන් මත ශ්‍රීලංකන් ගුවන් සමාගමට රුපියල් බිලියන 13ක සීමාව දක්වා ණය පදනම යටතේ ඛනිජ තෙල් ලබාදීම සිදුවන අතර මේ වන විට ණය පදනම මත ලබාදී ඇති ඛනිජ තෙල් තොගයේ වටිනාමක රුපියල් බිලියන 14ක් ව තිබෙන නිසාය.
එසේම ඛනිජ තෙල් සංස්ථාව සඳහන් කරන ආකාරයට මෙම ණයෙන් රුපියල් බිලියන 8ක් අයත් වන්නේ 2008 වසරේ මිලදී ගත් ඛනිජ තෙල් සඳහාය. ඉතිරි රුපියල් බිලියන 6ක මුදල ඉන් පසු අවස්ථා කිහිපයකදී ණය පදනම මත ලබාගත් ඛනිජ තෙල් සඳහා ගෙවිය යුතු ඒවා වෙයි.
ඛනිජ තෙල් සංස්ථාවේ මෙම දැනුම්දීමට ප්‍රතිචාර දක්වන ශ්‍රී ලංකා ගුවන් සේවය සඳහන් කර සිටින්නේ ඛනිජ තෙල් සංස්ථාවේ දැනුම්දීම තවම නිල වශයෙන් ලැබී නොමැති බවය. එසේම ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කර ඇති බවත් එහි ප්‍රතිඵල ලබාගැනීමට තවත් කාලය ගත වන බැවින් රජය මෙම ණය මුදල් ගෙවීමට කටයුතු කළ යුතු බවද සමාගම පෙන්වා දෙයි.
ඛනිජ තෙල් සංස්ථාවට ගෙවිය යුතු මුදල් සම්බන්ධයෙන් මේ වන විට රජය සමග සාකච්ඡා කරන බව ද සමාගම සඳහන් කර ඇත.

