ආණ්ඩුවෙන් ඉවත් වූ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ 16 දෙනා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනවද නොතකන බව පෙන්වීමට යෙදූ දේශපාලන කෙමක් හේතුවෙන් 16 කණ්ඩායමේ බරපතල බෙදීමක් සිදුව ඇති බව වාර්තා වෙයි.
මීට ආසන්නම කාරණය වී ඇත්තේ අද (02) පස්වරු 4.30 ට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් ශ්‍රීලනිප නිලධාරී හමුවක් කැඳවා තිබෙන අවස්ථාවේ පස්වරු 5.00 ට තිබෙන ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හමුවට පැමිණෙන ලෙස ශ්‍රීලනිප 16 කණ්ඩායමට දැනුම්දීමය.
පසුගියදා 16 කණ්ඩායම සහ බැසිල් රාජපක්ෂ අතර පැවති හමුවේදී මෙම දැනුම්දීම 16 කණ්ඩායමට සිදුකර ඇත.
ඒ අනුව මේ වන විට ශ්‍රීලනිප යේ තනතුරු දරන 16 කණ්ඩායමට තමන් සහභාගී වන්නේ කුමන හමුවටද යන්න තීරණයක් ගැනීමට සිදුව ඇත.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පසුගියදා සිදුකළ ප්‍රතිසංවිධානය අනුව භාණ්ඩාගාරික ලෙස පාර්ලිමේන්තු මන්තී‍්‍ර එස්.බී. දිසානායකත්, ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරුන් වන ඩබ්.ඞී. ජේ. සෙනෙවිරත්න, අනුර පි‍්‍රයදර්ශන යාපා, සුසිල් පේ‍්‍රමජයන්ත, උප සභාපතිවරයෙකු ලෙස ඩිලාන් පෙරේරා, නව උපලේකම්වරුන් අතර සිටින සුදර්ශනී ප‍්‍රනාන්දුපුල්ලේ ට මෙහිදී තීරණාත්මක තීන්දුවක් ගැනීමට සිදුව ඇත.
පොහොට්ටු සාමාජිකත්වය දයාසිරි ප්‍රතික්ෂේප කරයි
කෙසේ වුවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගැනීමට තමා කිසිසේත් සූදානම් නොමැති බව ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රීලනිප 16 කණ්ඩායමේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර සඳහන් කරයි.
මන්ත්‍රීවරයා මේ බව සඳහන් කර සිටියේ බිංගිරිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන බල මණ්ඩල රැස්වීමට සහභාගී වෙමින්ය.
විවිධ බලපෑම් සිදුකළ ද තමන් ඒවාට යටත් නොවන බවත් ඒකාබද්ධ විපක්ෂයේ සිටින කිසිවෙක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය මෙතෙක් ලබාගෙන නොමැති බවද මන්ත්‍රීවරයා එහිදී සඳහන් කර ඇත.
තාරා වෙනම ගමනක
කෙසේ වුවත් 16 කණ්ඩායම නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත‍්‍රී තාරානාත් බස්නායක ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට එක් වී ඇති බව වාර්තා වන අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් 30 වනදා පැවති කුරුණැගල දිස්ත‍්‍රික් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජිත හමුවටද මන්ත‍්‍රිවරයා එක්ව ඇති බවද දැනගන්නට ඇත.
එහිදී තවදුරටත් විවිධ කණ්ඩායම් වලට වී ඉන්නට උවමනා නැති බවත් තමන් ඉදිරියේදී ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ සංවිධාන වැඩ කටයුතුවල නිරත වන බවත් තාරානාත් මන්ත‍්‍රිවරයා එහිදී සදහන් කර ඇති බවද දැනගන්නට ඇත.
බැසිල් හමුවේ අර්බුදය
මේ අතර දේශපාලන ආරංචිමාර්ග සඳහන් කර සිටින්නේ පසුගියදා ශ්‍රීලනිප 16 කණ්ඩායම සහ බැසිල් රාජපක්ෂ අතර හමුව සඳහා 16 කණ්ඩායමේ කොටසක් පමණක් සහභාගී වී ඇත්තේ එම හමුව සඳහා ඔවුන් සියළු දෙනාගේම පොදු එකඟතාවයෙන් නොවන බවය.
එහිදී බැසිල්ගේ හමුව ප්‍රතික්ෂේප කළ 16 කණ්ඩායමේ සාමාජිකයන් තමන් පසුගිය වසර තුන පුරාවට බැසිල්ට ලබාදුන් විවේචන සියල්ල හකුළාගෙන දේශපාලන යාචකයන් ලෙස ඔහු වෙත යාමට අවශ්‍යතාවක් නොමැති බව පවසා ඇති බවත් ලැජ්ජාව නොමැති ඕනෑම අයෙකුට ඒ ගමන යාමට ඇති අයිතියද තමන් ප්‍රතික්ෂේප නොකරන බවද එම පාර්ශවය දන්වා ඇති බවද වාර්තා වෙයි.

