මාලිනී ගැන හදන ෆිල්ම් එකට, මාලිනී ගෙ පවුලේ අයගෙන් අවසර ගන්න ඕන ඇයි? මාලිනී ෆොන්සේකාගෙ පවුලේ අයට එහෙම අයිතියක් ලැබෙනව ද? මාලිනී නෙවෙයි, ඕනෑම කලාකරුවකු ගෙ හෝ කලාකාරියක ගෙ හෝ ප්‍රසිද්ධ කෙනකු ගේ චරිතය ප්‍රතිනිර්මාණය කිරීම ගැන තියෙන නීති මොනවද? අපි ටිකක් ඒ ගැන බලමු.
ජනප්‍රිය පුද්ගල චරිතයක් සිනමාවට නගන විට...
මේ ලිපියෙන් අපි උත්සාහ කරන්නෙ, ලංකාවෙ බුද්ධිමය දේපළ පනතයි, කෙනෙක් ගෙ චරිතයක් ෆිල්ම් එකකට ගේනකොට ඒක බලපාන විදිහයි ගැන (න්‍යායිකව) ටිකක් කතා කරන්න. මාලිනී ගැන චිත්‍රපටය රූගත කරන්න පටන් ගැනීමත්, ඒ සඳහා මාලිනීගේ පවුලේ අය සමග පූර්ව එකඟතාවයක් නොතිබීමත් කියන එක පසුබිමේ තියාගෙනයි අපි මේක කතා කරන්නෙ.
ලංකාවෙ දි නම් මේ වගේ ප්‍රශ්නයකට අදාල නීතිය තමයි, 2003 අංක 36 දරන බුද්ධිමය දේපළ පනත. පසු කාලීනව මේකට ප්‍රධාන සංශෝධන 3කුත් ආවා. ඔය ටිකේ තමයි, මේ වගේ දේකට බලපාන නීතිය තියෙන්නෙ.
මාලිනී ෆොන්සේකා කියන්නෙ ලංකාවෙ ජනකාන්ත නිළියක්. තවත් එක වෘත්තිකයෙක්ට වඩා, සිනමා ඉතිහාසයේ ප්‍රධාන සන්ධිස්ථානයක්. ඉතින් මාලිනී ගැන ෆිල්ම් හැදෙන එක, ලෝකයේ අනෙක් සෑම විශිෂ්ටයෙකු ගැන ෆිල්ම් හැදෙනවා වගේම, සාමාන්‍ය දෙයක්; විය හැකි දෙයක්. බලාපොරොත්තු වියයුතු දෙයක්. හැබැයි මාලිනී කියන්නෙ ඇත්ත චරිතයක්. ඒ වගේම භෞතිකව ජීවතුන් අතර නැති කෙනෙක්. ඒ අනුව, මේ හදන්න යන චිත්‍රපටය අයිති වෙන්නෙ බොහෝවිට බයෝපික් එකක් ගණයට. මේ වගේ වැඩකදි, බුද්ධිමය දේපළ, කලාකරුවා ගේ අයිතීන්, ආචාරධාර්මික අයිතීන් වගේ දේවල් ගොඩක් අදාල වෙනවා.
පනතෙන් මේ දේවල් ගැන මොනවද කියන්නෙ?
අපි බලමු මේ වගේ චිත්‍රපටියක්, ලංකාවෙ නීතියට අනුව මොන වගේ ගණයකට වැටෙයිද කියලා.
පනතට අනුව, මේ චිත්‍රපටය ''ශ්‍රව්‍යදෘෂ්‍ය'' කාර්යයක්; පනතට අනුව මාලිනී ෆොන්සේකා කියන්නෙ, කලාත්මක වැඩකටයුතුවල “පර්ෆෝමර්“ කෙනෙක්. මේ නිසා, පනතෙ පැහැදිලිව දක්වනවා, පර්ෆෝමර් කෙනෙක්ගෙ අයිතීන් ගැන.
අපි හිතමු මේ චිත්‍රපටයෙ දි, මාලිනී විසින් ඇත්තටම රඟපාන ලද දර්ශන හෝ ශබ්ද භාවිත කරනවා කියලා. එහෙනම්, බුද්ධිමය දේපළ පනතෙ දෙවැනි පරිච්ඡේදය මේකට අදාල වෙනවා.
17(1) වගන්තිය අනුව, තමන්ගෙ කලා නිර්මාණයක් (රඟපෑමක්, හඬක්) ප්‍රචාරය කිරීමේත්, වෙනස් කිරීමේත්, ප්‍රතිනිර්මාණය කිරීමේත් අයිතිය තියෙන්නෙ අදාළ පර්ෆෝමර් ට. ඒ කියන්නෙ මාලිනීට. 17(4) වගන්තිය අනුව, මේ අයිතිය නැතිවෙන්නෙ, මාලිනී මිය ගිහින් අවුරුදු 50ක් පිරුණට පස්සෙ. ඒ කියන්නෙ, ආසන්න වශයෙන් 2075න් පස්සෙ. මේ වෙද්දි මාලිනී ෆොන්සේකා අභාවප්‍රාප්ත වෙලා වුණත්, වසර 50ක් ඉක්ම ගිහින් නැති හින්දා, ඒ අයිතිය සජීවීව තියෙනවා; සක්‍රීයව තියෙනවා.
ආචාරධාර්මික අයිති
දැන් අපි බලමු, කෙනෙක් මියගියාට පස්සෙ එයාට අදාළ ආචාරධාර්මික අයිති මොනවද කියලා.
සාමාන්‍යයෙන් මේ වගේ බයෝපික් එකක් හදනකොට, වැඩියෙන්ම සලකාබලන්න ඕන තමයි මේක. මොකද ඒ කෙනා ගෙ චරිතයට හානියක්, කැළලක්, එයා ගැන වැරදි වැටහීමක්, විකෘති පණිවුඩයක් සමාජයට යන්න පුළුවන්. මිය ගිය කෙනා ගෙ චරිතයට අවැඩක් වෙන්න පුළුවන්. කරපු දෙයක් නොකළා වගෙත්, නොකළ දෙයක් කළා වගෙත් ඉතිහාසගතවෙන්න පුළුවන්. ඒ හින්දා, මියගිය කලාකරුවකු ගේ හෝ කලාකාරියක ගේ ආචාරධාර්මික අයිතිය ගැනත් නීතිය සළකා බලනවා.
පනතේ 10(1)(c) කොටසේ තියෙනවා, කලාකරුවා ගේ කීර්තිනාමයට තියෙන අයිතිය ගැන. මේ අනුව තමන්ගේ චරිතය සම්බන්ධ ඕනෑම කටයුත්තකට විරෝධය පෑමේ අයිතිය අදාළ කලාකාරුවාට ලැබෙනවා. ඒ තමන් ගේ ම ගෞරවය සහ කීර්තිය වෙනුවෙන්.
ඉතින් මාලිනී දැන් අභාවප්‍රාප්ත වෙලා නෙ... එතකොට මොකද කරන්නෙ...?
පනතේ 10(2) වගන්තිය අනුව, කලාකරුවකුට හෝ කලාකාරියකට ලැබෙන මේ කිසිම අයිතියක් එයා ජීවත්ව සිටින තුරු අන්සතු කරන්න බෑ. හැබැයි මරණයෙන් පස්සෙ, මේ අයිතිය වෙන කෙනෙක්ට පැවරෙනවා. ජීවතුන් අතර ඉද්දි ලියන අන්තිම කැමති පත්‍රයකින් මාලිනීට පුළුවන් ඒක කාට හෝ පවරලා තියන්න. ඒක ඇගේ මරණයෙන් පසුව ඒ කෙනාට ලැබෙනවා. එහෙමත් නැතිනම්, ස්වභාවිකව ම නීතිය ක්‍රියාත්මක වීමෙන්, මාලිනී ගේ නෛතික උරුමකරුවන්ට මේ අයිතිය ඉබේ ම ලැබෙනවා. ඒ කියන්නෙ පවුලේ අයට. ඒ අනුව, මාලිනී ගේ චරිතයට මොනයම්ම හෝ අගතියක්/ බලපෑමක් වියහැකි ක්‍රියාවකට මැදිහත්වීමටත්, ඒකට අවසර දීමටත් පූර්ණ අයිතිය මාලිනී ෆොන්සේකා ගේ පවුලේ අයට නීත්‍යානුකූලව ලැබෙනවා. මේ යටතේ, කිසිම හේතු දැක්වීමක් නැතිව වුණත්, මේ ෆිල්ම් එකට අකැමැති වෙන්න එයාලට පුළුවන්.
පනතේ 13(1) වගන්තිය අනුව, යම් කලාකරුවකු ගෙ හෝ කලාකාරියක ගෙ ආචාරධාර්මික අයිති සහ ආර්ථික අයිති, කලාකරුවා මිය ගිහින් අවුරුදු 70ක් යනතුරු ම එයාට තියෙනවා. ඒ කියන්නෙ, ආසන්න වශයෙන් 2095වන තුරු මාලිනී ගේ චරිතය ගැන හිතු හිතු දේ කරන්න බෑ. ඒ වගේම, ප්‍රසිද්ධ කෙනකු ගේ චරිතයක් සූරාකෑම හෝ ඉන් අනිසි ඵල ප්‍රයෝජන ලැබීම ගැනත්, ලංකාවෙ බුද්ධිමය දේපළ පනතේ තියෙනවා. මේ ගැන තියෙන්නෙ 32 වැනි පරිච්ඡේදයේ. ඊට අනුව, පනතෙ 160 (2) (b)(vi) වගන්තියෙන් කියනවා, මේ වගේ සෙලිබ්‍රිටි කෙනකුගෙ චරිතය සම්බන්ධව ආන්දෝලනාත්මක ක්‍රියා සිද්ධි කිරීමෙන් අසාධාරණ වාසියක් සමහර පාර්ශ්ව විසින් ගන්න පුළුවන් බව.
පනතෙ 160(3) (a) අනුව, කවුරු ම හරි කෙනකු ගේ සුබසිද්ධියට, කීර්තියට හානිකරන ක්‍රියාවක් කිරීම අතිශයින් තහනම්. මේ වගන්තිය ටිකක් වැදගත්. මොක ද කීර්ති නාමයට හානි කරන ක්‍රියාවක් විතරක් නෙවෙයි, හානිකර විය හැකි බවක් තියෙන ක්‍රියාවක් කිරීම පවා නීති විරෝධී යි.
මොකක්ද මේ 'වියහැකි' ක්‍රියාව?
මාලිනී ගෙ චිත්‍රපටය හදන අය උත්සාහ කරන්න පුළුවන් මේක වෙනත් කතාවක් බව පෙන්වන්න. නමුත් අනියමින් මාලිනී ගේ චරිතය බව අඟවන්න. මේක පවතින නීතිමය තත්ත්වයන් මත “හානියක් වියහැකි තත්ත්වයක්“. නමුත් ඒ ගැන සීයට සීයක් න්‍යායිකව පැහැදිලිකරගන්න අමාරුයි.
මේ විදිහට, කීර්තිනාමයට කරන “හානියක්“ (Dilution එකක්) අර්ථ දක්වනවා, 160 (3)(c) වගන්තියේ. මොකක්ද හානිදායක ක්‍රියාවක් කියන්නෙ?
ඒ තමයි, අදාළ සෙලිබ්‍රිටිගේ වාණිජ වටිනාකමට යම් හානියක් කරන ක්‍රියාවක්. මේක එයාට කරන ආර්ථික අසාධාරණකමක්. එයාව පෙන්වලා අසාධාරණ ලෙස ධනවත් වීම මේ අනුව ප්‍රශ්නකාරී දෙයක්. එවැනි චිත්‍රපටයකින් ලබන ආර්ථික වාසිය මේ අනුව ප්‍රශ්නගත වෙනවා. මේ අනුව, මාලිනී ගේ චරිතය ගැන නීත්‍යනුකූල අයිතිය තියෙන, එයාගෙ පවුලේ අයගේ පූර්ව අනුමැතියක් නැතිව බයෝපික් එකක් නිර්මාණය කිරීමෙන් මාලිනී ෆොන්සේකා ගේ ජනප්‍රියත්වයෙන් අයුතු ලාභයක්, අයුතු වාසියක් අත්වෙනවා. මේක පනතට අනුව මාලිනී ෆොන්සේකා ගේ කීර්තියට විය හැකි හානියක්.
පනතේ 11 පරිච්ඡේදයෙන් කියැවෙනවා Fair Use සංකල්පය ගැන. මේ අනුව, යම් සීමාවක් යටතේ සමහර දේවල් ප්‍රතිනිර්මාණය කරන්න පුළුවන්. නමුත් මේක විසඳීම අධිකරණයට තමයි බාර වෙන්නෙ. නමුත් ඉතින් වාණිජ චිත්‍රපටයක් කියන්නෙ, ලාභ ලෑබිමේ අරමුණින් කරන දෙයක්. මේ හින්දා ෆෙයා යූස් යටතට ගන්න එක කරන්න අපහසු වැඩක්. හැබැයි ඉතින් ලංකාවෙ තියෙන තත්ත්වය අනුව, නීති ක්‍රියාවලියෙ තියෙන හිදැස් මත, දිගින් දිගට ම මේ වගේ දේවල් වෙනවා. නැසීගිය ප්‍රසිද්ධ චරිත ගැන අපකීර්තිමත් නිර්මාණ බිහි වෙනවා. සමහර නිර්මාණවල ගැටලුවක් නැතත්, කිසිම අවසරයක් නැතිව තමයි ඒවා කෙරෙන්නෙ. පොත්පත්, චිත්‍රපට, ගීත, නාට්‍යය, ටෙලිනාට්‍යය ඇතුළු විවිධ අංග මේකට අයත්.
ඒබඳු මොහොතක පවුලේ අයට කළ හැකි දේවල් මොනවද...?
ඒක වැදගත් ප්‍රශ්නයක්. මේ වෙලාවෙ මාලිනී ෆොන්සේකා ගේ පවුලේ අයටත් මේ ගැටලුවට මුහුණ දෙන්න වෙනවා. මොකද කිසිඳු පූර්ව-පූර්ණ-විධිමත් අවසරයක් නැතිව තමයි මේ චිත්‍රපටයේ රූගත කිරීම් පටන් අරන් තියෙන්නෙ.
පළමු නීතිමය සහනය විදිහට, පවුලේ අයට පුළුවන් වාරණ නියෝගයක් ගන්න; වන්දියක් ඉල්ලන්න.
පනතේ 22(1) සහ 170(1) අනුව, නීත්‍යානුකූල උරුමය සහිත බුද්ධිමය දේපළ හිමියන්ට (පවුලේ අයට) මේ චිත්‍රපටය නිර්මාණය කිරීම නවත්වන්න කියලා අධිකරණයෙන් ඉල්ලන්න පුළුවන්. ඒකෙන් මේ වෙද්දි යම් හානියක් වෙලා නම් ඒ සඳහා හානිපූර්ණයක් ඉල්ලන්න පුළුවන්.
මේ සඳහා, පනත ප්‍රකාරව නම් රුපියල් පනස්දහසත් (50,000) මිලියනයත් (10,00,000) ත් අතර අලාභ ඉල්ලන්න පුළුවන්.
මේ අපි කතා කෙරුවෙ පනතේ න්‍යායික තත්ත්වය. අධිකරණ නඩු කටයුතුවලදී, මේ පනත විතරක් අදාළ වෙන්නෑ. මීට කලින් විසඳූ නඩු, සමාන්තර නීති සහ රෙගුලාසි, අධිකරණ ක්‍රියාවලිය කියන හැමදේම අදාළ වෙනවා. නමුත් මේ න්‍යායික තත්ත්වය, ප්‍රායෝගිකව මෙවැන්නකට අදාළ පදනම සකස් කරනවා.
දැනට චිත්‍රපටය රූගත වෙන්නෙ මේ කොපිරයිට් සියල්ල කඩ කරමින් බවයි පවුලේ අයගෙ කැමැත්ත නිසි ලෙස, විධිමත්ව නොගෙන, ඔවුන්ගේ ඉල්ලීම් නොසළකාහැරීමෙන් පේන්නෙ. තත්ත්වය එහෙම නම්, අනිවාර්යයෙන්ම මේ චිත්‍රපටයට ඔවුන්ගේ ලිඛිත අවසරය ගන්න වෙනවා; ඔවුන් පණවන සාධාරණ කොන්දේසි පිළිගන්න වෙනවා. එහෙම නැතොත් මේ චිත්‍රපටය ලංකාවෙ බුද්ධිමය දේපළ පනතෙන් ආරක්ෂා කෙරෙන අයිතිවාසිකම් දැඩි ලෙස උල්ලංඝනය කළ චිත්‍රපටයක් වේවි. ඒක ලංකාවෙ සිනමාවට රිදී රේඛාවක් විය යුතුව තිබෙන වටිනා වැඩක්; කළු පැල්ලමකින් අවසන් වන ක්‍රියාවක් වේවි.
පනතේ 10 වැනි කොටසේ කියැවෙන, ආචාරධාර්මික අයිති සහ ඊට සම්බන්ධ අනෙකුත් අයිති උල්ලංඝනය වීමක් වේවි. මාලිනී ෆොන්සේකා නමැති ලාංකීය සිනමා සන්නාමයෙන් ගත් අතිශය අදූරදර්ශී අයුතු ප්‍රයෝජනයක් වේවි.
(මීට පෙර ලංකාවේ කලාකරුවන්ගේ කොපිරයිට් උල්ලංඝනය කළ නඩුවල අධිකරණ තීන්දු ගැන අපි කලින් ලිපි කීපයක ම කතා කරලාත් තිබෙනවා)
දීර්ඝකාලීන සිනමා රසිකයින් ලෙස, ප්‍රේක්ෂක අයිතිය තමයි, මේ වගේ දේකදි මුලින්ම විනාශ වෙන්නෙ.

සටහන - Nuwan Ishara Mahagamage | නුවන් ඉෂාර මහගමගේ
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
