Language Switcher

V2025

ගෑස් මිල බැස්සිල්ල පිටුපස කුමන්ත්‍රණයක් ?

පසුගිය ජුනි 29 වැනිදා සිට ගෑස් මිල අඩු වූ අතර එ් අනුව කිලෝ ග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 138 කින් අඩු කෙරිණි. මීට අමතරව කිලෝ ග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරය රුපියල් 55 කින් සහ කිලෝ ග්‍රෑම් 2.3 ගෑස් සිලින්ඩරය රුපියල් 25 කින් මිල අඩු කර තිබේ.

කෙසේ වෙතත් මෙම මිල අඩු කිරීම රජයේ නිශ්චිත දැනුවත්භාවයකින් තොරව සිදුවූවක් බවයි වාර්තා වන්නේ.
 
මෙම මිල අඩු කිරීම සම්බන්ධයෙන් ඊයේ (03) පැවති කැබිනට් මණ්ඩලයේදී දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබේ. එහිදී බොහෝ ඇමතිවරුන්ගේ ඇඟිල්ල දිගු වී ඇත්තේ කර්මාන්ත හා වාණිජ්‍ය ඇමතිවරයා වෙතයි.
 
මෙරට ගෘහස්ථ ගෑස් වෙළඳපොලෙන් 75% කට වැඩි ප්‍රතිශතයක් හිමි කරගෙන සිටින ලිට්රෝ ගෑස් සමාගම පසුගිය වසරේ පමණක් රුපියල් බිලියන 4.7 ක පාඩුවක් ලබා ඇති අතර එසේ තිබියදී තවදුරටත් ගෑස් මිල අඩු කරන්නේ කෙසේද යන්න සම්බන්ධයෙන් එහිදී කැබිනට් මණ්ඩල සාමාජිකයන් රිෂාඩ් බදුර්දීන් ඇමතිවරයාගෙන් විමසා තිබේ. ඇමතිවරයා පවසා ඇත්තේ පාරිභෝගික කටයුතු අධිකාරියේ නිර්දේශ මත මෙම සංශෝධනය සිදුකළ බවයි.
 
ලිට්රෝ ගෑස් සමාගම පසුගියදා පාරිභෝග කටයුතු අධිකාරියෙන් ඉල්ලා සිටියේ පවතින ගෑස් මිල ආයතනයට දරාගත නොහැකි හෙයින් ගෑස්මිල වැඩි කිිරීමට කටයුතු කරන ලෙසයි. එසේ ඉල්ලීම් කර තිබියදී ගෑස් මිල වැඩි කිරීම වෙනුවට සිදුකර ඇත්තේ මිල අඩු කිරීමයි. මේ සම්බන්ධයෙන් ලිට්රෝ සමාගමේ සභාපති නිශ්ශංක නානායක්කාර මහතා විමතිය පලකරන අතර මිල අඩු කරන බවට තමන්ට කිසිදු දැනුම් දීමක් හෝ කරන නොමැති බව ද ඔහු පවසයි. සමාගම දැනුවත් කිරීම තබා විෂයභාර අමාත්‍යවරයා පවා මෙම මිල අඩු කිරීම සම්බන්ධයෙන් දැනුවත් කර නොමැත.
 
මේ පිළිබඳව කර්මාන්ත හා වාණිජ්‍ය ඇමතිවරයා විසින් පාරිභෝගික කටයුතු අධිකාරියෙන් කරුණු විමසා ඇති අතර එහිදී ප්‍රකාශ කර ඇත්තේ මිල අඩු කිරීමට එකඟ බව ලිට්රෝ සමාගමේ සභාපතිවරයා ලිඛිතවම සහතික වී ඇති බවයි. එසේ නම් අදාල ලිඛිත සහතිකය ඉදිරිපත් කරන ලෙස ඇමතිවරයා දන්වා ඇතත් මේ වනතෙක් එවැනි ලිපියක් ඉදිරිපත් කිරීමට පාරිභෝගික කටයුතු අධිකාරියේ බලධාරීන් කටයුතු කර නොමැත.
 
මේ අනුව පැහැදිලි වන්නේ පාරිභෝගික කටයුතු අධිකාරිය විෂයභාර ඇමතිවරුන් පවා දැනුවත් නොකර මෙම මිල අඩු කිරීම සිදු කර ඇති බවයි.
 
ගෑස් මිල අඩු කිරීම ජනතාවගේ පැත්තෙන් යහපත් ක්‍රියාවකි. එහෙත් ගැටලුව වන්නේ ඒ සඳහා පාරිභෝගික කටයුතු අධිකාරිය අනුගමනය කරන ක්‍රියා පටිපාටියයි. එවැනි මිල සංශෝධනයකදී අදාල ආයතන මෙන්ම අදාල අමාත්‍යංශ ද දැනුවත් කළයුතු අතර වගකිවයුතු සියලු ආයතනවල එඟතාවයෙන් සංශෝධන සිදු කළ යුතුය.
 
මේ සම්බන්ධයෙන් කැබිනෙට්ටුවේදී අදහස් දැක්වූ ඇමතිවරුන් බහුතරයක් ප්‍රකාශ කර ඇත්තේ මෙය ආණ්ඩුව අපහසුතාවයට පත් කිරීමේ තවත් එක් කුමන්ත්‍රණයක් බවයි. ඒ අනුව එවැනි කුමන්ත්‍රණ හරහා ජනතාව ඉදිරියේ ආණ්ඩුව අපකීර්තියට පත් කිරීමට ඉඩ ලබාදිය නොහැකි බවත් මේ සම්බන්ධයෙන් වහාම පියවර ගතයුතු බවත් ඔවුන් ප්‍රකාශ කර තිබෙනවා. කර්මාන්ත හා වාණිජ්‍ය අමාත්‍ය රිෂාඩ් බදුර්දී මහතා ප්‍රකාශ කරන්නේ, ගෑස් මිල වැඩි කිරීමට එකඟතාවය පළකරමින් ලිට්රෝ ගෑස් සභාපතිවරයා ලබාදුන් එකඟතා ලිපිය ඉදිරිපත් කිරීමට පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපතිවරයා අසමත් වුවහොත් ඔහු පිළිබඳ තීරණයක් ගැනීමට සිදුවන බවයි.
 
මෙම මිල වැඩි කිරීම හේතුවෙන් මෙම වසරේ ලිට්රෝ ගෑස් සමාගමේ පාඩුව තවදුරටත් ඉහළ යනු ඇත. එය ලිට්රෝ සමාගමේ කටයුතු සම්පූර්ණයෙන් අඩාලවීමට හේතුවක් විය හැකිය. මේ වනවිට ගෑස් ඒකාධිකාරය ලිට්රෝ සමාගම සතුව ඇති නමුත් එම ඒකාධිකාරය රජයේ පාලනයට යටත් වේ. යම් හෙයකින් ලිට්රෝ සමාගම කඩා වැටුණහොත් එම සමාගමේ ඒකාධිකාරිය අවසන්ව එය පෞද්ගලික සමාගම් සතුවනු ඇත. ගෑස් මිල වැඩි කිරීම පසුපස ඇති කුමන්ත්‍රණයේ අරමුණ එය වියහැකි බවත් ඒ සඳහා ඉඩ ලබාදිය නොහැකි බවත් ඇමතිවරුන්ගේ අදහසයි.

(LNW )