එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ සහ යුරෝපා සංගමයේ සහාය ඇතිව,
සිය ප්‍රථම ජාතික ආහාර සුරක්ෂිතතා ප්‍රතිපත්තිය දියත් කිරීමත් සමග, ජාතික ආහාර පාලන පද්ධතිය ශක්තිමත් කිරීමේ සුවිශේෂී සන්ධිස්ථානයකට ළඟා වීමට ශ්‍රී ලංකාව සමත් වී ඇත. මෙම ප්‍රතිපත්තිය විසින් ආහාර සුරක්ෂිතතාව සම්බන්ධයෙන් අවදානම මත පදනම් වූ සහ මනා ලෙස සම්බන්ධීකරණය කරන ලද ප්‍රවේශයක් අනුගමනය කරයි. මහජන සෞඛ්‍යය ආරක්ෂා කිරීම, ආහාර පද්ධති ශක්තිමත් කිරීම සහ ආර්ථික වර්ධනයට සහාය වීම සඳහා මෙමගින් පරිපූර්ණ සැලසුමක් සපයයි.
මෙම ප්‍රතිපත්තිය සකස් කරනු ලැබුවේ, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නායකත්වය යටතේ ආහාර පාලන පරිපාලන ඒකකය (FCAU) විසිනි. එහි එක් අරමුණක් වන්නේ, සැමට සුරක්ෂිත, සෞඛ්‍ය සම්පන්න සහ ඉහළ ගුණාත්මයෙන් යුතු ආහාර සහතික කිරීමයි. එසේම, නිෂ්පාදනයේ සිට පරිභෝජනය දක්වා සමස්ත ආහාර දාමය පුරාම, ආහාර සුරක්ෂිතතාව වෙනුවෙන් වගකියන ආයතන අතර සම්බන්ධීකරණය ශක්තිමත් කිරීමේ ජාතික දැක්මක් ද මෙමගින් ස්ථාපිත කරයි.
ආහාර සුරක්ෂිතතාව පාලනය කරන ස්ථාපිත නෛතික රාමුවක් ශ්‍රී ලංකාව සතු වේ. එනමුදු, විවිධ ආයතන සහ අංශ හරහා ආහාර සුරක්ෂිතතා ප්‍රයත්න මෙහෙයවීමට සහ සම්බන්ධීකරණය කිරීම සඳහා අවශ්‍ය පුළුල් ජාතික ප්‍රතිපත්තියක් මීට පෙර රට තුළ තිබුණේ නැත. නව ප්‍රතිපත්තිය මගින් මෙම අඩුපාඩුව සම්පූර්ණ කිරීමට කටයුතු කෙරේ. ඒ අනුව, පාලනය ශක්තිමත් කිරීම, නිරීක්ෂණ පද්ධති වැඩිදියුණු කිරීම, අවදානම් තක්සේරුව සහ සන්නිවේදනය දියුණු කිරීම මෙන්ම රසායනාගාර ශක්‍යතාව ගොඩනැගීම සඳහා ද උපායමාර්ගික මඟ පෙන්වීමක් එමගින් ලබා දෙයි. තවද, ආහාර සුරක්ෂිතතා නීති සම්පාදනය ශක්තිමත් කිරීමට සහ නිෂ්පාදකයන්, ආහාර ව්‍යාපාරිකයන් මෙන්ම පාරිභෝගිකයන් ආහාර සුරක්ෂිතතා අවශ්‍යතා සහ යහපත් භාවිතයන් පිළිබඳව වඩාත් හොඳින් දැනුම්වත් කිරීමට ද මෙමගින් අවස්ථාව ලැබේ.
වෙනස් වන ආහාර නිෂ්පාදන පද්ධති, පුළුල් වන දේශීය සහ ජාත්‍යන්තර ආහාර වෙළඳාම, අඛණ්ඩව වර්ධනය වන පාරිභෝගික රුචිකත්වයන් සහ ආහාර සැපයුම් දාම ආශ්‍රිතව මතු වෙමින් දිනෙන් දින සංකීර්ණ වන ආහාර සුරක්ෂිතතා අභියෝග මගහැරීම සඳහා කටයුතු කිරීමට ද මෙම ප්‍රතිපත්තිය ඉවහල් වේ. එමගින්, ජාතික, පළාත් සහ ප්‍රාදේශීය මට්ටම්වල පාර්ශ්වකරුවන් අතර සම්බන්ධීකරණය ශක්තිමත් කරයි. ඒ අතරතුරම, ආහාර සුරක්ෂිතතාව සඳහා නිවාරණ සහ අවදානම මත පදනම් වූ ප්‍රවේශයක් ප්‍රවර්ධනය කරයි.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ මෙම ප්‍රතිපත්තිය සම්මත කර ගැනීම ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතා පද්ධතිය ශක්තිමත් කිරීමේ වැදගත් පියවරක් බව සඳහන් කරමින් මෙසේ ද පැවසී ය: "මහජන සෞඛ්‍යය ශක්තිමත් කිරීමට සහ අපගේ ආහාර පද්ධති පිළිබඳ වැඩි විශ්වාසයක් ගොඩනැගීමට ශ්‍රී ලංකාව ගන්නා උත්සාහයේ සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙස ජාතික ආහාර සුරක්ෂිතතා ප්‍රතිපත්තිය සනිටුහන් කළ හැකියි. එමගින්, නිවාරණය, විද්‍යාත්මක ලෙස අවදානම් කළමනාකරණය කිරීම සහ විවිධ අංශ හරහා ශක්තිමත් සම්බන්ධීකරණයක් ප්‍රවර්ධනය කරන පැහැදිලි ජාතික වැඩපිළිවෙලක් ස්ථාපිත කරයි. ඒ ඔස්සේ, ශ්‍රී ලංකාවේ කෘෂි ආහාර අංශයේ තරඟකාරීත්වය ඉහළ නංවන අතරතුර සියලු පුරවැසියන් වෙනුවෙන් වඩාත් සුරක්ෂිත ආහාර සඳහා අඩිතාලම දමනු ලැබේ."
මෙම වැදගත් ජාතික ප්‍රතිපත්තිය සංවර්ධනය කිරීමට සහාය වීම වෙනුවෙන් BESPA වැඩසටහන හරහා FAO සහ යුරෝපා සංගමය ලබා දුන් තාක්ෂණික සහාය ද ලේකම්වරයා අගය කළේය.
මහජන සෞඛ්‍යය සහ තිරසර ආර්ථික සංවර්ධනය සඳහා ශක්තිමත් ආහාර සුරක්ෂිතතා පද්ධතිවල වැදගත්කම ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ යුරෝපා සංගම් නියෝජිත කණ්ඩායමේ සහයෝගිතා අංශයේ ප්‍රධානී වෛද්‍ය ජොහාන් හෙසේ මහතා අවධාරණය කළේය. "පාරිභෝගිකයන්ගේ සෞඛ්‍යය සහ යහපැවැත්ම ආරක්ෂා කිරීම සඳහා පමණක් නොව, ඔරොත්තු දෙන ආහාර පද්ධති ගොඩනැගීමට ද ආහාර සුරක්ෂිතතාව අත්‍යවශ්‍ය වේ," යැයි ඔහු පෙන්වා දුන්නේ ය. "එසේම, වෙළඳපොළ විශ්වාසය ශක්තිමත් කිරීම සහ නව ආර්ථික අවස්ථා නිර්මාණය කිරීම සඳහා ද එය වැදගත් වේ. යුරෝපා සංගමයේ අරමුදල් සපයන BESPA වැඩසටහන හරහා, ශ්‍රී ලංකාවේ ප්‍රථම ජාතික ආහාර සුරක්ෂිතතා ප්‍රතිපත්තිය ස්ථාපිත කිරීමට සහාය වීමට ලැබීම ගැන අපි සතුටු වන්නෙමු. මෙමගින් අවදානම මත පදනම් වූ නවීන ආහාර සුරක්ෂිතතා පාලනයක් සඳහා ශක්තිමත් පදනමක් සපයන අතර, මෙම ප්‍රතිපත්තිය ශක්තිමත් ලෙස ක්‍රියාත්මක වනු දැකීමට අපි බලාපොරොත්තු වන්නෙමු," යනුවෙන් ද හෙතෙම ප්‍රකාශ කළේය.
නිෂ්පාදකයන්ට, ව්‍යාපාරවලට සහ පාරිභෝගිකයන්ට එකසේ ප්‍රතිලාභ සැලසෙන තිරසර කෘෂි ආහාර පද්ධති ප්‍රවර්ධනය කිරීමේදී ශ්‍රී ලංකාව සමඟ අඛණ්ඩ හවුල්කාරිත්වය මෙම සන්ධිස්ථානයෙන් පිළිබිඹු වන බව ද වෛද්‍ය ජොහාන් හෙසේ වැඩිදුරටත් පැවසීය.
යුරෝපා සංගමයේ අරමුදල් මගින් ක්‍රියාත්මක වන, කෘෂි ආහාර අංශයේ සංවර්ධනය සඳහා ප්‍රමිතීන් මත පදනම් වූ හොඳම භාවිතයන් ප්‍රධාන ප්‍රවාහයට ගෙන ඒමේ (BESPA) වැඩසටහන හරහා එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO) විසින් ජාතික ආහාර සුරක්ෂිතතා ප්‍රතිපත්තිය නිර්මාණය කිරීම සඳහා එම වැඩසටහන ආරම්භයේ සිටම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයට සහාය ලබා දෙන ලදි. මෙම වැඩසටහන හරහා, ප්‍රතිපත්තියේ මූලික කෙටුම්පත සකස් කිරීම සඳහා ජාතික සහ ජාත්‍යන්තර තාක්ෂණික විශේෂඥතාව සැපයීමට FAO කටයුතු කළේය. එසේම, තාක්ෂණික සමාලෝචන සහ පාර්ශ්වකාර උපදේශන වට කිහිපයක් හරහා එය තවදුරටත් විධිමත් කිරීම සඳහා අඛණ්ඩව සහාය ලබා දුන්නේය.
යෝජිත යාවත්කාලීන කරන ලද ආහාර පනත මගින් ජාතික ආහාර සුරක්ෂිතතා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට සහාය වනු ඇත. ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතා පාලනය ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය නෛතික රාමුව එම පනත මගින් සපයයි. යෝජිත පනතේ නවතම කෙටුම්පත සමාලෝචනය කිරීම සහ ප්‍රධාන පාර්ශ්වකරුවන්ගෙන් අවසන් තාක්ෂණික යෙදවුම් ලබා ගැනීම සඳහා 2026 ජූලි මාසයේදී ජාතික පාර්ශ්වකාර උපදේශන වැඩසටහනක් පැවැත්විණි. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති එම වැඩසටහන සඳහා FAO සිය සහාය ලබා දුන්නේය.
කෘෂි ආහාර පද්ධතිය පුරා ආහාර සුරක්ෂිතතාව ශක්තිමත් කිරීම සඳහා සම්බන්ධීකරණය කරන ලද ක්‍රියාමාර්ගවල වැදගත්කම මෙම ප්‍රතිපත්තියෙන් පිළිබිඹු වන බව ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා වන FAO නියෝජිත විම්ලේන්ද්‍ර ශරන් පැවසී ය. "මහජන සෞඛ්‍යය ආරක්ෂා කරන අතරම, ඔරොත්තු දෙන සහ තිරසර කෘෂි ආහාර පද්ධති ගොඩනැගීම සඳහා ආහාර සුරක්ෂිතතාව වැදගත් වේ. මෙම ඓතිහාසික ප්‍රතිපත්තිය මගින් ආහාර සුරක්ෂිතතා පාලනය ශක්තිමත් කිරීමට සහ අංශ හරහා සම්බන්ධීකරණය වැඩිදියුණු කිරීමට ශ්‍රී ලංකාවට උපායමාර්ගික මාර්ග සිතියමක් සපයයි. එසේම, පාරිභෝගිකයන්ට, නිෂ්පාදකයන්ට සහ රටේ ආර්ථිකයට ප්‍රතිලාභ සැලසෙන, නිවාරණය සහ විද්‍යාව මත පදනම් වූ ප්‍රවේශයන් ප්‍රවර්ධනය කිරීමට ද මෙමගින් අවස්ථාව ලැබේ. යුරෝපා සංගමයේ BESPA වැඩසටහන හරහා ලැබුණු මූල්‍ය දායකත්වය සහිතව, මෙම වැදගත් සන්ධිස්ථානය ජය ගැනීම සඳහා ශ්‍රී ලංකා රජයට සහාය වීමට ලැබීම පිළිබඳව FAO ආඩම්බර වේ," යනුවෙන් ද විම්ලේන්ද්‍ර ශරන් වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
ජාතික ආහාර සුරක්ෂිතතා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය වන උපායමාර්ගික ප්‍රමුඛතා අංශ හයක් එහි දක්වා ඇත. ආහාර සුරක්ෂිතතා පාලනය සහ ආයතනික සම්බන්ධීකරණය ශක්තිමත් කිරීම මෙන්ම සමස්ත ආහාර දාමය පුරා ආහාර සුරක්ෂිතතා පාලනය වැඩිදියුණු කිරීම ඊට ඇතුළත් වේ. නීති සම්පාදනය, ප්‍රමිතීන් සහ නියාමන පද්ධති වැඩිදියුණු කිරීම, නිරීක්ෂණ කටයුතු, රසායනාගාර සහ අවදානම් විශ්ලේෂණය ශක්තිමත් කිරීම ද මීට අයත් ය. තවද, සන්නිවේදනය, අධ්‍යාපනය සහ ශක්‍යතා සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම මෙන්ම ඵලදායී ක්‍රියාත්මක කිරීමකට සහාය වීම සඳහා ශක්තිමත් අධීක්ෂණ සහ ඇගයීම් යාන්ත්‍රණ ස්ථාපිත කිරීම මෙම ප්‍රමුඛතා අංශ අතරට ඇතුළත් වේ.
ආහාර සුරක්ෂිතතා පද්ධති ශක්තිමත් කිරීම මගින් ආහාර මගින් බෝවන රෝග අවම කිරීම සහ පාරිභෝගික විශ්වාසය වැඩිදියුණු කිරීම මෙම ප්‍රතිපත්තිය හරහා අපේක්ෂා කෙරේ. ඊට අමතරව, ජාත්‍යන්තර වෙළඳාමට පහසුකම් සැලසීම, පෝෂණ මට්ටම ඉහළ නැංවීම සහ ආහාර නාස්තිය අවම කිරීම ද මෙහි අපේක්ෂාවන් වේ. තවද, සංචාරක ව්‍යාපාරයට සහාය වීම මෙන්ම ශ්‍රී ලංකාවේ ආහාර සහ කෘෂිකාර්මික අංශවල තරගකාරීත්වය ශක්තිමත් කිරීම ද මෙමගින් බලාපොරොත්තු වේ.
තිරසර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමට දායක වන වඩාත් සුරක්ෂිත, සෞඛ්‍ය සම්පන්න සහ ඔරොත්තු දෙන කෘෂි ආහාර පද්ධති ප්‍රවර්ධනය කිරීම පුළුල් ප්‍රයත්නයකි. එම ප්‍රයත්නයේ කොටසක් ලෙස, යුරෝපා සංගමයේ අරමුදල් සපයන BESPA වැඩසටහන හරහා ජාතික ආහාර සුරක්ෂිතතා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට සහ ආහාර සුරක්ෂිතතා පද්ධති ශක්තිමත් කිරීමට ශ්‍රී ලංකා රජයට සහාය වීම වෙනුවෙන් FAO අඛණ්ඩව කැපවී සිටී.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
