Language Switcher

V2025

දළ පූට්ටුවා ඝාතනය යට ගැසීමේ නින්දිත උත්සාහයක්

ගල්ගමුවේ දළ පූට්ටුවා නම් දැවැන්ත හස්තියා ඝාතනය කොට දළ කපාගෙන යාමේ සිද්ධිය යට ගැසීමේ ප්‍රබල උත්සාහයක් ක්‍රියාත්මක වන බව වාර්තා වේ.

මහතැන් සම්බන්ධයි

වනජීවි දෙපාර්තමේන්තුවේ සහ පොල්පිතිගම, අඹන්පොල යන පොලිස් ස්ථානවලින් ලබාගත් තොරතුරු වලට අනුව මේ උත්සාහය පිටුපස සිටින්නේ නාගල රජමහා විහාරයේ භික්ෂූන් වහන්සේ නමක් සහ නියෝජ්‍ය ඇමැතිවරයෙකි.

ආණ්ඩුවේ ඉහළ පෙළේ සම්බන්ධකම් ඇති මේ භික්ෂූන් වහන්සේගේ සමීපතමයන් පිරිසක් සහ අදාළ නියෝජ්‍ය ඇමැතිවරයාගේ රියැදුරකු මේ සිද්ධිය සම්බන්ධයෙන් දැනට අත්අඩංගුවට ගෙන තිබේ.

ඇමතිගේ ඥාතියා

වනජීවි දෙපාර්තමේන්තුවේ අදාළ කලාපය භාර සහකාර අධ්‍යක්ෂවරයා සහ පොල්පිතිගම  පොලීසියේ ස්ථානාධිපතිවරයා ද මේ උත්සාහය සාර්ථක කර දීමට ඉදිරිපත් වී සිටිති.  මේ අතර වනජීවියේ අදාළ සහකාර අධ්‍යක්ෂවරයා වර්තමාන වන සම්පත් ඇමැති ගාමිණී ජයවික්‍රම පෙරේරාගේ ඥාතියකු බව සඳහන් කරන විශ්වාස කටයුතු ආරංචි මාර්ග, ඔහු ඒ ඥාතිත්වය භාවිත කරමින් වනජීවී අපරාධ සිදු කරන බවට පරිසර සංවිධාන මගින් ද අවස්ථා කිහිපයකදී චෝදනා කර තිබූ බව ද දැනගන්නට ඇත.

මීට අදාළ විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දුන් බව මාධ්‍ය ඔස්සේ පැවසුණද, මේ වනවිටත් ඊට අදාළ පරීක්ෂණ පවත්වනු ලබන්නේ අඹන්පොල පොලිසිය  මගිනි.

පොලිසියේ බාල වැඩ

තවද මීට පෙර පානදුර, වලාන දූෂණ මර්දන ඒකකය මගින් මීට සෘජු සම්බන්ධයක් ඇති බවට සැකපිට ඇත් දළ විකිණීමට උත්සාහ දැරීමේදී සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබිණි. ඔවුන් පොල්පිතිගම පොලිසියට භාරදීමෙන් පසු විධිමත් ප්‍රශ්න කිරීමකින් තොරව අධිකරණයට ඉදිරිපත් කළ බව පොල්පිතිගම පොලීසියේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. ඉන්පසු අඹන්පොල පොලිසිය මගින් මොරගොල්ලාගම ප්‍රෙද්ශයේ දඩයමේ යන පුද්ගලයන් කිහිප දෙනකු අත්අඩංගුවට ගෙන අදාළ හස්තියා මරාදැමීමේ චෝදනාව
යටතේ අධිකරණයට ඉදිරිපත් කර ඇති බවත්, ඔවුන්ගේ නිවෙස් වල තිබූ යකඩ කපන කියතක් ඇතුළු භාණ්ඩ කිහිපයක් අත්අඩංගුවට ගෙන ඇති බවත් සදහන් කරන විශ්වාස කටයුතු ආරංචි මාර්ග, ඔවුන්ගෙන් මීට අදාළව බලහතකාරයෙන් කට උත්තර ලබාගැනීමට පොලිසිය ප්‍රබල උත්සාහයක් දරා ඇති බව ද අනාවරණය කර සිටී.

සාක්ෂි වෙනස් කරන උත්සාහයක්

මේ අතර අදාළ භික්ෂූන් වහන්සේට සහ නියෝජ්‍ය ඇමැතිවරයාට සම්බන්ධකම් ඇති සැකකරුවන් පොලිසියට පවසා ඇති ආකාරයට හස්තියා මරා දමා සිටියදී තමන්ට දැකගන්නට ලැබුණු බවත්, මරා දමා තිබූ හස්තියාගේ දළ කැපූ බවත් තහවුරු කිරීමට අදාළ සාක්ෂි නිර්මාණය කිරීමේ උත්සාහයක් ද ක්‍රියාත්මක වන බව වාර්තා වී ඇත.

මේ සදහා වයඹ පළාතේ ඉහළ පොලිස් නිලධාරියකුගේ සහයෝගය ලබාගැනීමට ද මේ වනවිට අදාළ කුමන්ත්‍රණකාරීන් උත්සාහ දරමින් සිටින බව හෙළි වේ.

මේ අනුව කොටදෙනියාවේ සේයා සිදුවීමේදී මෙන්ම කහවත්තේ මිනීමැරුම් වලට අදාළව පොලිසිය කටයුතු කළාක් මෙන් තවත් කොණ්ඩයන් පිරිසක් අත්අඩංගුවට ගෙන, ඒ හරහා මේ අපරාධය කළ සැබෑ අපරාධකරුවන් නිදහස් කිරීමේ ප්‍රබල උත්සාහයක් ක්‍රියාත්මක වන බවට බරපතල සැකයක් මතු වේ.

මේ අතර සැකකරුවන් දළ ජාවාරමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත්තද, මේ හස්තියා ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඔවුන් අත්අඩංගුවට ගත් දින පටන් මේ දක්වා කිසිදු චෝදනාවක් සඳහන් කර නැති බව වාර්තා වෙයි.

සැකකරුවන්ට ඇප

ඊයේ (12) මහව මහේස්ත්‍රාත් අධිකරණයේදී ගල්ගමුවේ දළ පූට්ටුවා මරා දැමීම සහ දළ කපා ජාවාරම් කිරීමට අදාළ නඩුව විභාගයට ගත් අවස්ථාවේ විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන් මේ කරුණු දැක්වීම කර තිබිණි. ඒ අනුව සැකකරුවන්ට ඇප ලබා දිය හැකි බව ද ඔවුන් පවසා තිබිණි.

මේ යන්නේ කොයි පාරේ

 නීති තර්ක කෙසේ වෙතත් දළ පූට්ටුවා මරා දැමීමේ සිද්ධියෙන් පසු මෙසේ අදාළ සැකකරුවන් ඇතා නොමැරූ බවත්, ඔවුන් දළ කැපීම පමණක් කළ බවත් තහවුරු කිරීමට අවශ්‍ය කරුණු ඒකරාශී කරමින් සිටින බවත්, සමහර විට ඉදිරියේදී අහිංසකයකු ඇතා මැරූ බවට සැකපිට පොල්පිතිගම පොලීසියෙන් අත්අඩංගුවට ගැනීමට ඉඩ ඇති බවත් අවධාරණය කෙරිණි.

මේ යන්නේ ඒ පාරේ ය. අධිකරණයවත් ට්‍රැක් එකට ගත යුතුය. පොලිසිය තවදුරටත් පෙර කී ඇමැති සහ ඊට ඉහළ උන්දැලාගේ ආශිර්වාදයෙන් පන්සිල් ගනිමින් සිටී.