ණය සහ ලීසිං වාරික ගෙවීමට නොහැකි වන පාරිභෝගිකයන්ගේ වාහන, නීතිමය පද්ධතිය මඟහැර බලහත්කාරයෙන් හා ප්‍රචණ්ඩකාරී ලෙස අත්පත් කරගන්නා "සීසර්ලාගේ" මැර ක්‍රියාපරිපාටිය වහාම නතර කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.
ඔහු මේ බව කියා සිටියේ විපක්ෂ නායක කාර්යාලයේදී පැවැති ලීසිං හා ණය වාරික ගෙවන්නන්ගේ සංගමයේ නියෝජිතයන් සමඟ පැවැති සාකච්ඡාවකදීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා සඳහන් කළේ, රටේ ජනතාව ලක්ෂ 12කට විට්ස් (Vitz) වර්ගයේ මෝටර් රථයක් ගැනීමේ අපේක්ෂාවෙන් සිටියද එම සිහිනයත් අද වන විට බොඳ වී ඇති බවයි. එවැනි තත්ත්වයක් හමුවේ, ලීසිං යොදා වාහනයක් මිලදී ගත්තත් ඇතිවන ආර්ථික අපහසුතා මත ලීසිං වාරික කිහිපයක් ගෙවා ගැනීමට නොහැකි වන පාරිභෝගිකයන් මහපාරේදී අසරණ කරමින් වාහන පැහැර ගැනීමේ නිර්ලජ්ජිත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බවයි.
2000 අංක 56 දරන කල්බදු හිමිකම් මූල්‍යකරණ පනත මඟින් ණය අය කරගැනීම සඳහා පැහැදිලි නීතිමය මෙවලම් පවතිද්දී, ඒවා උපයෝගී කර නොගෙන බලහත්කාරයෙන් හා ප්‍රචණ්ඩත්වයෙන් දේපොළ ඩැහැගැනීමට ඉඩදීම සම්පූර්ණයෙන්ම නීති විරෝධී බවද ඔහු පෙන්වා දුන්නේය.
පසුගිය කාලයේ මේ පිළිබඳව හඬක් නගා RTN 213 එකඟතාවය තුළින් පොලිසිය ලවා මෙම නීති විරෝධී අත්පත් කරගැනීම් නතර කිරීමට කටයුතු කළද, මේ වන විට නැවතත් එම කූඨ ක්‍රියාව ආරම්භ වී ඇති බවත්, නීතිය හා සාමය භාර අංශ මෙන්ම මහ බැංකුව පවා මේ පිළිබඳව නිසි නියාමනයක් නොකිරීම කණගාටුදායක බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
යම් හෙයකින් ණය මුදලක් හෝ ලීසිං පහසුකමක් ලබාගත් විට එය නියමිත පරිදි ගෙවීම පාරිභෝගිකයාගේ වගකීමක් බව පිළිගන්නා බවත්, ගෙවීමේ අපහසුතාවයක් ඇත්නම් නීත්‍යානුකූලව ණය ගිවිසුම ප්‍රතිව්‍යුහගතකරණය (Restructure) කිරීමට අවස්ථාව තිබිය යුතු බවත් ඔහු සඳහන් කළේය.
එසේම, මෙවැනි සිදුවීම්වලදී මහජනතාව වෙනුවෙන් පෙනී සිටිනවා වෙනුවට පෞද්ගලික අංශයේ "සීසර්ලාගේ" පැත්ත ගැනීමට පොලිසිය කටයුතු කිරීම නීති විරෝධී බවත්, මෙවැනි මංකොල්ලකාරී සීසර් ක්‍රමය රටෙන් සම්පූර්ණයෙන්ම තුරන් කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වැඩිදුරටත් අවධාරණය කළේය.
මෙම සාකච්ඡාවට අදාළ වීඩියෝව නරඹන්න පහළින්
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
