ගලගොඩඅත්තේ ඤානසාර හිමියන් වෙත ජනාධිපති සමාව ප්රදානය කරන ලෙස ඉල්ලා සිටිමින් සත්යහ්රහයේ නිරත මහා සංඝරත්නය වෙත ත්රෛනිකායික මහානායක ස්වාමීන්වහන්සේලා විසින් විශේෂ දැනුම්දීමක් සිදුකර තිබේ.
ශ්රී ලංකාවේ ඓතිහාසික, ආගමික හා සමාජීය සන්දර්භය තුළ භික්ෂූන් වහන්සේ යනු ජනතාවගේ පරම ගෞරවාදරයට පාත්ර වන අධ්යාත්මික මාර්ගෝපදේශකයාණන් වහන්සේ වන බවත්, එම අද්විතීය ගෞරවය සුරැකී පවතින්නේ භික්ෂූත්වයට ආවේණික වූ සංවරශීලී පැවිදි ප්රතිපදාව සහ සම්බුද්ධ විනය ආරක්ෂා වන තාක්කල් පමණක් බව එම නිවේදනයේ සඳහන් වේ.
එබැවින්, වර්තමානයේ උද්ගතව ඇති සංවේදී වාතාවරණය තුළ, ගලගොඩාත්තේ ඥානසාර හිමියන් සම්බන්ධ උක්ත ගැටළුව නීත්යනුකූල හා සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීම සඳහා ත්රෛනිකායික මහානායක ස්වාමීන්වහන්සේලා ලෙස රජය වෙත අවශ්ය මැදිහත්වීම සිදු කර ඇති බවද එම නිවේදනය මගින් පෙන්වා දී ඇත.
එමෙන්ම, දැනට මෙම සිදුවීම සම්බන්ධයෙන් සිදුකරන ඇතැම් විරෝධතා දැක්වීම් පාදක කරගනිමින්, ශ්රී ලාංකේය සමාජය තුළ හා ජාත්යන්තරය හමුවේ භික්ෂූන් වහන්සේ කෙරෙහි පවතින උත්තරීතර ගෞරවය හා කීර්තිනාමය පළුදු කිරීමට ඇතැම් පිරිස් කටයුතු කරන අතර ඒ සඳහා ඉඩ නොතැබීමට සමස්ථ භික්ෂූන් වහන්සේලා කටයුතු කළ යුතු බව ද එම නිවේදනය මගින් මහනායක ස්වාමීන්වහන්සේලා අවධාරණය කරති.
තවද, කිනම් අර්බුදයක් හමුවේ වුවද ශාසනික විනය හා සංඝ සාමග්රිය ආරක්ෂා කරමින්, එය ධර්මානුකූලව සහ විනයානුකූලව විසඳා ගැනීමට කටයුතු කිරීම මහා සංඝරත්නයේ පරම වගකීම විය යුතු බවත්, "අප්පසන්නානං වා පසාදාය පසන්නානං වා භිය්යොභාවය" යන සම්බුද්ධෝපදේශය මත පිහිටා මහජන ප්රසාදය වඩා වර්ධනය වන ආකාරයෙන් කටයුතු කරන මෙන් සියලු නිකාය පාර්ශ්වයන්හි මහා සංඝරත්නයට මෙයින් සිහිපත් කර සිටින බව එම නිවේදනයේ සඳහන් වේ.
මල්වතු මහා විහාර පාර්ශ්වයේ මහානායක අතිපූජ්ය තිබ්බටුවාවේ සිද්ධාර්ථ සුමංගල හිමි, අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහානායක අතිපූජ්ය වරකාගොඩ ධම්ම සිද්ධි ශ්රී පඤ්ඤානන්ද ඤාණරතන හිමි, ශ්රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක අතිපූජ්ය කරගොඩ උයන්ගොඩ මෛත්රී මූර්ති හිමි සහ ශ්රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක අතිපූජ්ය මකුලෑවේ ශ්රී විමල හිමි යන ත්රෛනිකායික මහානායක හිමිවරුන්ගේ අත්සනින් යුතුව මෙම නිවේදනය නිකුත් කර තිබේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්රතිචාර
