Image

“රබර් බෝල වතුරේ ගිල්වා තබන්න නොහැකි බව ආණ්ඩුවට තේරෙන්නේ නෑ” - මුජිබර් රහුමාන්

“රබර් බෝල වතුරේ ගිල්වා තබන්න නොහැකි බව ආණ්ඩුවට තේරෙන්නේ නෑ”  - මුජිබර් රහුමාන්

කතානායකවරයාට එරෙහිව විපක්ෂය ගෙනා විශ්වාසභංගය විවාදයට නොගෙනම බැහැර කිරීමට උත්සාහ කිරීම හරහා ආණ්ඩුව පත්ව ඇති සැබෑ පසුබෑම පැහැදිලිවන බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් පවසයි.

ශ්‍රී ලංකා ඉතිහාසයේ මීට පෙරද ඕනෑ තරම් කථානායකවරුන්ට විශ්වාසභංග යෝජනා ඉදිරිපත් වුවද ඊට කිසිදු කථානායකවරයකු බිය නොවූ බවද ඔහු පෙන්වා දුන්නේය.

මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ, කෝට්ටේ පිහිටි සමගි ජනබලවේග මූලස්ථානයේ (26) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේද පැවසීය.

“කතානායකරයා සම්බන්ධයෙන් ඉදිරිපත් වූ චෝදනා සැලකිල්ලට ගනිමින් අපි විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කළා. තමන්ගේ තොරතුරු පිටවීම සහ ඒ ආශ්‍රිතව එල්ලවූ චෝදනා ගැන විමර්ශණයක් කරන්න කථානායකවරයා විසින්ම විශේෂ කමිටුවක් පත්කළා. අපි ඒ කමිටුවේ නිර්දේශ සලකා බැලීමෙන් අනතුරුවයි මේ විශ්වාසභංගය භාරදුන්නේ. නමුත් එය ආණ්ඩු පක්ෂය විසින් ප්‍රතික්ෂේප කරල නිර්දේශ ඉදිරිපත් කරන්න කියලා නීතිපතිටත් යවලා. ඒකෙදී කතානායකරයා කියන්නේ තාක්ෂණික කාරණා කිහිපයක් හේතුවෙන් මේක  ප්‍රතික්ෂේප කළා කියලා. පාර්ලිමේන්තුවේ හිටපු සහකාර ලේකම්වරයෙක් කතානායකවරයාට විරුද්ධව ගොනු කර ඇති නඩුවක් මත පදනම්වයි ආණ්ඩුව මේ තාක්ෂණික දුර්වලතාව දක්වල තියෙන්නේ.

නමුත් මීට පෙර හිටපු කතානායකවරු එහෙම කටයුතු කළේ නෑ. උදාහරණයකට දේශබන්දු තෙන්නකෝන් පොලිස්පතිවරයා ලෙස නම් කිරීමට එරෙහිව විභාග වු නඩුවක ප්‍රධාන වගඋත්තරකරුවෙකු ලෙස නම් කර තියෙන අතරතුර මහින්දයාපා අබේවර්ධන කතානායකවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් අපි ඉදිරිපත් කළා. නමුත් නඩුවක් තිබෙනවා කියා එතුමා විශ්වාසභංග යෝජනාව අවලංගු කරන්න කටයුතු කළේ නෑ. එමෙන්ම වර්තමාන ආණ්ඩුව බලයට ඇවිත් දේශබන්දු තෙන්නකෝන් ඉවත්කරන්න පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙනාව. ඒ වෙද්දි දේශබන්දු තෙන්නකෝන්ට එරෙහි නඩු කිහිපයක් විභාග වෙමින් තිබුණා. නමුත් අදාළ යෝජනාව පාර්ලිමේන්තුවට ගෙනැල්ලා දේශබද්දු පොලිස්පතිකමින් ඉවත් කළා. ඒකට ඒ වෙලාවේ විභාග වෙමින් තිබූ නඩුව අදාළ වුණේ නෑ.”

ඒ අනුව කතානායකවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීමට කිසිදු බාධාවක් නැතැයි පැවැසූ රහුමාන් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ, සත්‍ය තොරතුරු රටට අනාවරණ වීම වැලැක්වීමේ අපේක්ෂාවෙන් විශ්වාසභංග යෝජනාව විවාදයට නොගෙන සිටීමට ආණ්ඩුව තීරණය කර ඇති බවය.

“මෙවැනි දෙයක් පාර්ලිමේන්තු ඉතිහාසයේ කවදාවත් වෙලා නෑ. මේ කරන්නේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය යටත් කිරීමේ වැඩපිළිවෙලක්. ඒකාධිපති ගමනකට මග හදන වැඩපිළිවෙලක්. පාර්ලිමේන්තුවේ තුනෙක් දෙකක් තිබුණත්, මහජනතාව අතරේ බලයක් නෑ කියන්න දේ ආණ්ඩුවට දැන් තේරිලා තියෙන්නේ. මේ හේතුවෙන් විශ්වාසභංගය හෙට ගෙන්න කියමින් විපක්ෂයට අභියෝග කළ ආණ්ඩුව, දැන් විශ්වාසභංගය මගහරිමින් කතානායකවරයා විසින් සිදුකර ඇති වංචා, දූෂණ පිළිබද තොරතුරු රටේ ජනතාවගෙන් වසන් කිරීමට උත්සාහ කරමින් ඉන්නවා. ආණ්ඩුව එවැනි උත්සාහයක නිරතවීම හරියට රබර් බෝලයක් වතුරේ ගිල්වීමට දරණ අසාර්ථක උත්සාහයකට සමානයි.”

එමෙන්ම කථානායකවරයාට එරෙහිව අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණිලි රැසක් ලැබී ඇති බව සිහිපත් කළ මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා, එම පැමිණිලි සම්බන්ධයෙන් එම කොමිසම කිසිදු ක්‍රියාමාර්ගයක් නොගන්නේ ඇයිද යන්න පැහැදිලි කළ යුතු බවද අවධාරණය කළා.

ඒ අතරම ආණ්ඩුවේ තවත් මැති ඇමතිවරුන් කිහිප දෙනෙකුගේ දූෂණ වංචා, සහ අක්‍රමිකතා පිළිබඳව අල්ලස් කොමිසමට කළ පැමිණිලිද තවමත් ඒවා විභාග නොකරන්නේ ඇයිද? කියා එම කොමිසම රටට හෙළි කළ යුතු බවද මන්ත්‍රීවරයා කියා සිටියා.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන | අමතන්න