Image

අතීත පාඩම් මතින් අනාගතයට සාමකාමී සමෘද්ධිමත් දේශයක් ගොඩනඟමු - සාධාරණ සමාජයක් සඳහා වන ව්‍යාපාරය

අතීත පාඩම් මතින් අනාගතයට සාමකාමී සමෘද්ධිමත් දේශයක් ගොඩනඟමු - සාධාරණ සමාජයක් සඳහා වන ව්‍යාපාරය

අතීත අත්දැකීම්වලින් පාඩම් උගනිමින්, ආගමික සංහිඳියාව, ජාතික සමගිය සහ නීතියේ ආධිපත්‍යය තහවුරු කරමින් අනාගත පරපුර වෙනුවෙන් සාමකාමී මෙන්ම සමෘද්ධිමත් දේශයක් ගොඩනැඟීම සඳහා රජය, විපක්ෂය සහ සමස්ත පුරවැසියන් එක්ව වගකීමෙන් යුතුව කටයුතු කළ යුතු බවට වයඹ පළාතේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය මුගුණුවටවන සිද්ධත්ත නාහිමි සහ 'සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ' නායක ශ්‍රී ලංකාභිමාන්‍ය කරු ජයසූරිය විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරති.

වයඹ පළාතේ ප්‍රධාන සංඝනායක, තිස්සව රාජමහා විහාරාධිපති පූජ්‍ය මුගුණුවටවන සිද්ධත්ත නාහිමියන් සහ කරු ජයසූරියගේ අත්සනින් යුතුව මෙම නිවේදනය නිකුත් කර තිබේ.

මතු පළ වන්නේ එම නිවේදනයයි

(උපුටා ගැනීම)

අතීතයෙන් පාඩම් උගනිමින් අනාගත පරපුර වෙනුවෙන් යහපත් සාමකාමී සමෘධිමත් දේශයක් අප විසින් ගොඩනැගිය යුතුය

ආගම සහ මිනිසා අතර පවතින්නේ ගැඹුරු අන්‍යෝන්‍ය සම්බන්ධතාවයකි. මුල් යුගයේ සිටම මිනිසා ස්වභාවධර්මයේ අභිරහස්, ජීවිතයේ අස්ථාවරත්වය සහ මරණය හමුවේ ඇති වූ බිය හා කුතුහලය සමනය කර ගැනීමට ආගම වෙත නැඹුරු විය. ජීවිතයට අර්ථයක් ලබාදීම, සදාචාරාත්මක මඟපෙන්වීම සහ දුකේදී මානසික ශක්තිය සැපයීම මෙන්ම දයාව, කරුණාව හා සමාජ සංහිඳියාව වර්ධනය කිරීම ද ආගමේ වැදගත් කාර්යභාරයන් වේ. ඒ අනුව ආගම යනු මිනිසා උසස් මානුෂික ගුණයන්ගෙන් හෙබි විනයගරුක පුද්ගලයකු බවට පත් කරන ජීවන දර්ශනයකි.

අතීත ලංකාවේ රජවරුන් භූමිය පාලනය කළ පාලකයන් පමණක් නොව, බුදු දහමේ අනුශාසනා පදනම් කරගෙන සමාජීය සාමය, යුක්තිය සහ සදාචාරය තහවුරු කිරීමට උත්සාහ කළ පිරිසක් ද වූහ. රාජ්‍යය අර්බුදවලට මුහුණ දුන් අවස්ථාවල මහා සංඝරත්නය අර්ථයෙන් සහ ධර්මයෙන් අනුශාසනා කීරීම මෙන්ම සෘජුව මැදිහත් වෙමින් ද කටයුතු කළහ. දුටුගැමුණු රජු හා තිස්ස කුමරු අතර ඇති වූ විරසකය සමනය කිරීම මෙන්ම යටත් විජිත සමයේ සහ ඉන් පසුව උන්වහන්සේලා කළ කාර්යභාරය ද ඒ සඳහා උදාහරණ වේ.

එහෙත් වර්තමානයේ සංඝ සමාජය සහ ගිහි සමාජය අතර මෙන්ම මහා සංඝරත්නය අභ්‍යන්තරයේ ද බෙදීම් හා පරස්පර විරෝධී අදහස් දක්නට ලැබේ. මහා සංඝරත්නයට සහ බුදු දහමට බාහිරින් එල්ල වන අපහාස මෙන්ම දේශපාලනික හා වෙනත් අරමුණු සාක්ෂාත් කරගැනීම සඳහා බුදු දහම යොදාගැනීම බෞද්ධයන් ලෙස අප තුළ ඇති කරන්නේ දැඩි සංවේගයකි. සංඝ සමාජයේ ඇතැම් පිරිස්වල නොමනා හැසිරීම් සහ බෙදීම් හේතුවෙන් ජනතාව පන්සලෙන් දුරස් වීම ද කනගාටුවට කරුණකි. එමඟින් දරුවන්ගේ හා තරුණයන්ගේ ආගමික සම්බන්ධතාව දුර්වල වීම හේතුවෙන් මත්ද්‍රව්‍ය හා විවිධ දුරාචාරයන්ට ගොදුරු වීමේ අවදානම ඉහළ යාම, දෙමාපියන් හා දරුවන් අතර දුරස්වීම සහ මානසික නිවීම අහිමි වීම වැනි සමාජ ගැටලු තවත් තීව්‍ර විය හැකිය. වර්තමානයේ මෙම ගැටලුව ශීග්‍රයෙන් වර්ධනය වෙමින් පවතී.

බුදු දහමට අනුව සංඝ භේදය බරපතළ අකුසල කර්මයක් ලෙස සැලකේ. පොළොන්නරු යුගයේදී භික්ෂු ශාසනය තුළ මතුවූ භේද හා විනය විරෝධී ක්‍රියාකාරකම් මැඩපැවැත්වීම සඳහා මහා කාශ්‍යප ස්ථවිරයන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයේ අනුශාසනා පරිදි (මහාවිහාර, අභයගිරි, ජේතවන) සංඝයා වහන්සේලා එක්සත් කරමින් ශාසන විශෝධනයක් සිදු කිරීමට මහා පරාක්‍රමබාහු රජතුමා කටයුතු කළේය.

අද දවසේ ද සංඝ සාමග්‍රිය ආරක්ෂා කිරීම සඳහා රජය, විපක්ෂය, මහජනතාව සහ මහා සංඝරත්නය එක්ව කටයුතු කළ යුතුය. පසුගිය රජයන් සමයේ සකස් කරන ලද මුල් භික්ෂු කතිකාවත් පනත පිළිබඳව ද රජයේ සහ මහා සංඝරත්නයේ අවධානය යළි යොමු විය යුතු බව අප විශ්වාස කරමු. අධිකරණයේ අනුමැතිය ද මේ සඳහා ලැබී ඇත.

ආගමික හා ජාතික බෙදීම් ඇති කරමින් රටේ සංහිඳියාවට හානි කරන ප්‍රකාශ ද වර්තමානයේ දක්නට ලැබේ. විශේෂයෙන් සිංහල සහ මුස්ලිම් ජන සමාජ අතර අසමගිය වර්ධනය කළ හැකි ප්‍රකාශ පිළිබඳව අප අවධානයෙන් සිටිය යුතුය. ජාතීන් අතර වෛරය හා අන්තවාදී අදහස් වර්ධනය වීම වැළැක්වීම ආගමික නායකයන්ගේ, වගකිවයුතු ආයතනවල සහ රජයේ ප්‍රමුඛ වගකීමකි. 2019 වසරේ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් විසින් යෝජනා කරන ලද ‘දියවන්නා ප්‍රකාශය’ ද මේ සඳහා පිටිවහලක් කරගත හැකිය. පාර්ලිමේන්තුවේ ඒ සඳහා ඒකමතික එකඟත්වය ලැබී තිබේ. එය ඉදිරියට ගෙන යාම වර්තමාන රජයේ යුතුකමක් බව අප විශ්වාස කරමු. ගෞරවණීය ආගමික නායකයින් ද මේ සඳහා සිය පූර්ණ ආශිර්වාදය ලබා දී තිබේ

නිදහසින් පසු ජාතීන් අතර බෙදීම් සහ විවිධ අර්බුද හේතුවෙන් රටක් ලෙස අපට විශාල හානි සිදුවිය. හර්තාලය, 1958 ජනවාර්ගික කෝලාහලය, 1977 ජනවාර්ගික කෝලාහලය, කළු ජූලිය සහ ඊළාම් යුද්ධයේ ආරම්භය, අසාර්ථක හමුදා කුමන්ත්‍රණ දෙකක්, 1971 හා 1987–1989 තරුණ අසහනය හේතුවෙන් ඇති වූ හානිය, සිවිල් යුද්ධයේ අවසානය, පාස්කු ඉරිදා ප්‍රහාරය, ආර්ථික අර්බුදය සමඟ ඇති වූ අරගලය ඇතුළු අත්දැකීම්වලින් අප පාඩම් ඉගෙනගත යුතුය. ගැටුම්වල පෙරනිමිති දුටු විට ඒවා උත්සන්න වීමට පෙර විසඳීමට කටයුතු කිරීම අත්‍යවශ්‍යය.

අනෙක් ජාතීන් හා කණ්ඩායම් කෙරෙහි වෛරය පැතිරවීම වැළැක්වීම දේශපාලන නායකයන් ඇතුළු සියලු පුරවැසියන්ගේ වගකීමකි. රටේ අනාගතය වෙනුවෙන් බෙදීම්වලට වඩා සංහිඳියාවටත්, වෛරයට වඩා සහජීවනයටත් ප්‍රමුඛත්වය දිය යුතුය.

අධිකරණය කෙරෙහි ජනතා විශ්වාසය පළුදු වීම පිළිබඳව ද විශේෂ අවධානය යොමු කළ යුතුය. විවිධ කණ්ඩායම් විසින් අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වය, ආයතනික ගැටලු සහ දේශපාලන බලපෑම් පිළිබඳ බරපතළ චෝදනා ඉදිරිපත් කර තිබේ. මේවා චෝදනා වන බැවින් ඒවායේ සත්‍යතාව ස්වාධීනව සොයා බැලීමත්, අධිකරණයේ ස්වාධීනත්වය හා විනිවිදභාවය පිළිබඳ මහජන විශ්වාසය ආරක්ෂා කිරීමත් වැදගත්ය.

නඩු විභාග ප්‍රමාද වීම, සම්පත් හිඟය සහ අධිකරණ පද්ධතියේ පරිපාලනමය ගැටලු විසඳීම ද අත්‍යවශ්‍යය. එසේම අධිකරණ තීන්දු හා ක්‍රියාකලාපය පිළිබඳ සාධාරණ විවේචනයට ඇති ඉඩ ආරක්ෂා කළ යුතු අතර, අධිකරණයට අපහාස කිරීම සම්බන්ධ නීති අත්තනෝමතිකව භාවිත නොවන බවට ද සහතික විය යුතුය. ඒ සමඟම අධිකරණයේ කටයුතුවලට අනිසි බලපෑම් කිරීම හෝ යුක්තිය ඉටුවීමට බාධා කිරීම ද වැළැක්විය යුතුය.

ශ්‍රී ලංකාව වැනි ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක නීතියේ ආධිපත්‍යය යනු පාලනයේත් සමාජයේත් පැවැත්ම තහවුරු කරන මූලික පදනමකි. පාලකයන්ටත් සාමාන්‍ය පුරවැසියන්ටත් නීතිය එකසේ අදාළ විය යුතුය. කිසිම බලපෑමකින් තොරව, නීතිය සහ සාක්ෂි මත තීන්දු ගැනීමට අධිකරණයට හැකි විය යුතුය. නීති ක්ෂේත්‍රයේ ආයතන අතර ගැටුම් සහ එකිනෙකාට එල්ල කරන චෝදනා ද අධිකරණ පද්ධතිය පිළිබඳ මහජන විශ්වාසයට හානි කළ හැකි බැවින්, ඒවා විසඳීමේදී වගකීමෙන් හා විනිවිදභාවයෙන් කටයුතු කිරීම අවශ්‍යය.

මීට අමතරව ජනතාවට තොරතුරු දැනගැනීමේ අයිතිය තහවුරු කිරීම ද පාලකයන්ගේ සහ රාජ්‍ය ආයතනවල වගකීමකි. විනිවිදභාවය සහ වගවීම ශක්තිමත් වන තරමට ප්‍රජාතන්ත්‍රවාදය කෙරෙහි ජනතා විශ්වාසය ද ශක්තිමත් වේ.

නීතියේ ආධිපත්‍යය සහ ජාතික සංහිඳියාව හුදෙක් සදාචාරාත්මක අවශ්‍යතාවක් පමණක් නොව, රටේ ආර්ථිකය ගොඩනැගීමේ මූලිකම පදනමයි. විදේශ ආයෝජන ගෙන්වා ගැනීමට සහ ආර්ථිකය ස්ථාවර කිරීමට නම් ස්වාධීන අධිකරණයක් සහ සාමකාමී සමාජයක් අත්‍යවශ්‍ය කරුණකි.

දැන්වත් ඊළඟ පරපුර ගැන සිතා රජය, විපක්ෂය සහ සමස්ත ජනතාව එක්ව සමගි සම්පන්න, සාධාරණ හා සෞභාග්‍යමත් රටක් ගොඩනැඟිය යුතුය. එසේ නොකළහොත් අපගේ බෙදීම්වල හා අසමත්කම්වල බර අනාගත පරපුරට ද උරුම වනු ඇත. එබැවින් රටේ අනාගතය වෙනුවෙන් වගකීමෙන් ක්‍රියා කිරීම අද අප සියලු දෙනාගේ යුතුකමයි. එසේ නොවුනහොත් අප රටට ජාතියට ද්‍රෝහී වූ ද්‍රෝහීන් ලෙස අනාගත පරපුර හඳුන්වනු ඇත.

යහපත් චේතනාවෙන්, සත්භාවයෙන් හා ජාත්‍යාලයෙන් යුතුව සියළුම පුරවැසියන් වෙත මෙම ආයාචනය කරන්නෙමු.

පූජ්‍ය මුගුණුවටවන සිද්ධත්ත නාහිමි

සභාපති                                   

වයඹ පළාතේ ප්‍රධාන සංඝනායක,                                                             

තිස්සව රාජමහා විහාරාධිපති,

ශ්‍රී ලංකාභිමාන්‍ය කරු ජයසූරිය

නායක

සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය

(උපුටා ගැනීම අවසන්)

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන | අමතන්න