නිශ්චිතව දක්වනු ලබන කාර්යයන් සඳහා TIN සහතිකය අනිවාර්යයෙන් ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාවය ලබන වසරේ ( 2027) අප්‍රේල් 01 දින දක්වා කල් දැමීමට තීරණය කර ඇති බව දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් රුක්දේවි ප්‍රනාන්දු ප්‍රකාශ කළාය.
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් 2026/11/05 දින නිකුත් කරන ලද SEC/PN/IT/2026/06 දරණ නිවේදනය මගින් මෙම තීරණය දැනුම් දී ඇතැයි ඇය සඳහන් කළාය.
ඊට පෙර, 2026 අංක 11 දරණ දේශීය ආදායම් (සංශෝධන) පනතේ සහ 2017 අංක 24 දරණ දේශීය ආදායම් පනතේ 103 වගන්තියේ (6) වන උපවගන්තිය ප්‍රකාරව, 2026 සැප්තැම්බර් 22 දිනැති SEC/PN/IT/2026/05 දරණ චක්‍රලේඛය මගින්, 2026 නොවැම්බර් 01 දින සිට බලපැවැත්වෙන පරිදි, නිශ්චිතව සඳහන් කර ඇති ගනුදෙනු වර්ග අටක් (08) සඳහා බදු ගෙවන්නා හඳුනාගැනීමේ සහතිකයක් (TIN Certificate) ඉදිරිපත් කිරීම අනිවාර්ය බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් ආදායම් නිලධාරීන් වෙත දැනුම් දී තිබුණි.
කෙසේ වෙතත්, ඉහත සඳහන් ගනුදෙනු කරන පුද්ගලයන්ගෙන් බොහෝ දෙනෙකු තවමත් TIN සහතික සඳහා ඉල්ලුම් පත්‍රයක් සපයා නොමැති බව නිරීක්ෂණය වී ඇත.
මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් සහ මුදල් අමාත්‍යාංශයේ අනුමැතියද ඇතිව, ඉහත සඳහන් අනිවාර්ය අවශ්‍යතාවය ක්‍රියාත්මක කිරීම 2027 අප්‍රේල් 01 දින දක්වා කල් දැමීමට තීරණය කර ඇති බව කොමසාරිස් ජනරාල්වරිය පැවසුවාය.
මෙම දීර්ඝ කරන ලද කාලසීමාව තුළ, දැනටමත් TIN අංකයක් සඳහා ලියාපදිංචි වී ඇති පුද්ගලයන්ට තම TIN සහතිකය වඩාත් පහසුවෙන් ලබාගැනීමට හැකි වන පරිදි විකල්ප ක්‍රමවේද හඳුන්වා දීමට ආදායම් දෙපාර්තමේන්තුව කටයුතු කරනු ඇත.
ඒ අනුව, TIN ලියාපදිංචි වී ඇති අයට දෙපාර්තමේන්තුවේ මාර්ගගත ඊ-සේවාව (e-Services) ඔස්සේ තම TIN ලියාපදිංචිය ලබාගත හැකි බවද ඇය වැඩිදුරටත් අවධාරණය කළාය.
- ජේ.මුණසිංහ -
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
