Image

රටේ ආර්ථිකය වර්ධනය වෙනවා වෙනුවට තවත් හැකිලෙනවා - මහාචාර්ය ජී.එල්. පීරිස්

රටේ ආර්ථිකය වර්ධනය වෙනවා වෙනුවට තවත් හැකිලෙනවා - මහාචාර්ය ජී.එල්. පීරිස්

ශ්‍රී ලංකා ආර්ථිකයේ වර්ධනයක් වෙනුවට සංකෝචනයක් සිදුවෙමින් තිබෙන බව මහාචාර්ය ජී.එල්. පීරිස් පවසනවා.

 ඔහු මේ බව ප්‍රකාශ කළේ ඊයේ(09) කොළඹ, මල් පාරේ පිහිටි දේශපාලන කාර්යාලයේ පැවති ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමිනි.

පසුගිය කාලය තුළ මෙරට ආර්ථික සංවර්ධනය වේගයෙන් පහළ ගොස් ඇති බව පෙන්වා දුන් මහාචාර්යවරයා, 2025 දෙවැනි කාර්තුවේ පැවැති 5.8%ක සංවර්ධනය 2026 දෙවන කාර්තුව වන විට 4.2% දක්වා අඩුවී තිබෙනවා පමණක් නොව, 2008 වසරේ පැවැති ආර්ථික ප්‍රමාණයට වඩා 2%ක අඩුවීමක් අද වන විට පෙන්නුම් කරන බවත් සඳහන් කළේය.

මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ ජී.එල්. පීරිස්, රටම මුහුණපා ඇති ප්‍රධාන අභියෝග සහ අර්බුදකාරී තත්ත්වයන් කිහිපයක් පිළිබඳව මෙසේ සඳහන් කළේය.

 

උද්ධමනය සහ ජීවන වියදම ඉහළ යාම

ජූනි මාසයේ 6.3%ක් ලෙස පැවැති උද්ධමනය අගෝස්තු වන විට 8% දක්වාත්, ආහාර උද්ධමනය 8.5% දක්වාත් ඉහළ ගොස් තිබේ. උද්ධමනයේ දරුණු බව නිසා අවුරුදු 9ක් ගතවන විට ජනතාවගේ වත්කම්වලින් 50%ක් (අඩක්ම) අඩුවී යාමට නියමිතයි.

 

ඩොලරයේ අගය ඉහළ යාම

2024 ඔක්තෝබර් මාසයේදී රුපියල් 293ක් ලෙස පැවැති ඩොලරයක වටිනාකම අද වන විට රුපියල් 337 දක්වා ඉහළ ගොස් ඇති අතර, එය රුපියල් 45ක පමණ පහත වැටීමකි. මේ හේතුවෙන් ඉන්ධන, පරිප්පු, ලූණු, සීනි, පිටි වැනි අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනය කිරීමේදී සෑම ඩොලරයකටම අමතරව රුපියල් 45ක් වැය කිරීමට සිදුව තිබේ. එමෙන්ම, මෙරට විදේශ ණය ගණනය කිරීමේදී ද මේ වැඩිවීම දැඩි ලෙස බලපායි.

 

තරුණ විරැකියාව ඉහළ යාම

අධ්‍යාපනය ලැබූ උගත් තරුණ පිරිස අතර විරැකියාව 43%ක් දක්වා ඉහළ ගොස් ඇත. මෙය ආසියාවේ ඉහළම තරුණ විරැකියා අනුපාතය ලෙස සටහන් වෙනවා. මෙරට වයස අවුරුදු 10-24 අතර පිරිස ලක්ෂ 50ක් වන අතර, රැකියා නොමැති උපාධිධාරීන්ගෙන් 50%ක් පමණ රට අත්හැර යාමට අපේක්ෂා කළද බටහිර රටවල සංක්‍රමණික සීමා නිසා එයද අද අඩපණ වී තිබේ.

 

විදේශ ආයෝජන ඇදී නොපැමිණීම

පසුගිය වසර දෙක තුළ මෙරටට කිසිදු මහා පරිමාණ විදේශ ආයෝජනයක් පැමිණ නැත. ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නිකුත් කළ වාර්තාවකට අනුව, ආයතන අතර සම්බන්ධීකරණය දුර්වල වීම, නිතර වෙනස් වන අපැහැදිලි ප්‍රතිපත්ති සහ අශුභවාදී බදු ප්‍රතිපත්ති නිසා ශ්‍රී ලංකාව ආයෝජන සඳහා අහිතකර පරිසරයක් ලෙස හඳුන්වා දී තිබේ.

 

අයවැය ප්‍රතිපාදන භාවිතය අකාර්යක්ෂම වීම

ගිය වසරෙ ඉදිරිපත් කළ අයවැයෙන් වෙන් කළ මුදල්වලින් මේ වසරේ මැද වන විට වියදම් කර ඇත්තේ 16.7%ක් පමණක් වන අතර සැප්තැම්බර් වන විට වියදම් කර ඇත්තේ 28%ක් එනම් හතරෙන් පංගුවක් පමණි.

එසේම, 'දිට්වා' ව්‍යසනයෙන් පීඩාවට පත් ජනතාව සඳහා වෙන් කළ රුපියල් බිලියන 500ක මුදලින් මෙතෙක් වියදම් කර ඇත්තේ 8%ක් වැනි කුඩා ප්‍රතිශතයකි. මෙයයට බලපාන ප්‍රධානම සාධකය වී ඇත්තේ මුදල් හිඟයකට වඩා අදාළ ආයතනවල පවතින අකාර්යක්ෂමතාව සහ දුර්වලතාවයයි.

කෙසේ වෙතත්, මෙවැනි තත්ත්වය උඩ රට දැවැන්ත ආර්ථික අර්බුධයක් කරා ගමන් කරන වාතාවරණයක් තුළ නොවැම්බර් 12 වැනිදා ඉදිරිපත් කෙරෙන අයවැය ලේඛනය තුළින් මේ දැවෙන ප්‍රායෝගික ප්‍රශ්නවලට විසඳුම් ලැබෙන වැඩපිළිවෙළක් ඉදිරිපත් කරනු ඇතැයි අපේක්ෂා කරන බව මහාචාර්ය ජී.එල්. පීරිස් මෙහිදී සඳහන් කළේය.

මෙහිදී මහාචාර්ය ජී.එල්. පීරිස් පළ කළ සම්පූර්ණ අදහස් දැක්වීම කියවන්න මෙතනින්

 

 

 

 

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන | අමතන්න