යුද පීඩිතයන්ට යුක්තිය ඉටු වීම ගැන ජගත් සම්මාන ලාභිනියට සැකයක් (වීඩියෝ)

යුද පීඩිතයන්ට යුක්තිය ඉටු වීම ගැන ජගත් සම්මාන ලාභිනියට සැකයක් (වීඩියෝ)

මානව හිමිකම් සහ නීතියේ ආධිපත්‍යය නගා සිටුවීම සඳහා කළ විශිෂ්ට මෙහෙවර අගයා ජාත්‍යන්තර සම්මානයට පාත්‍රවූ ශ්‍රී ලංකික ක්‍රියාධාරිනියක් යුද පීඩිතයන්ට යුක්තිය ඉටු කිරීමට දුන් පොරොන්දු ආණ්ඩුව විසින් ඉටු කරනු නැති බවට සැක පහල කර සිටී.

ප්‍රංශ-ජර්මන් ආණ්ඩු විසින් පිරිනමන ලබන ෆ්රැන්කෝ ජර්මන් සම්මානය දිනාගත් පළමු ශ්‍රී ලාංකික ක්‍රියාධාරිනිය වන කාන්තා ක්‍රියාකාරී ජාලයේ (WAN) ශ්‍රීන් අබ්දුල් සරූර්, යුද අපරාධ සම්බන්ධයෙන් විශේෂ අධිකරණයක් පිහිටුවන බවට එක්සත් ජාතීන් හමුවේ 2015 දී ගිවිස ගත් රජය එය ක්‍රියාත්මක වීමට බාධා පමුණුවනු ඇති බවට බිය පල කරයි.

පොරොන්දුවූ පරිදි සත්‍යය, යුක්තිය, හානිපූරණය හා පුනරාවර්තනය වැලැක්වීම සමාන්තරව පවත්වාගෙන යාම වෙනුවට අනුක්‍රමයෙන් ක්‍රියාත්මක කිරීමට රජය තීන්දු කිරීම නිසා සංක්‍රාන්තික යුක්තිය අවසානය තෙක් කල් දමා ඇති බව ඇය පෙන්වා දෙන්නීය.

“විශේෂ අධිකරණය අන්තිමට එනකොට මේ ආණ්ඩුව තියෙයිද, නැද්ද අපි දන්නේ නෑ,” යි ශ්‍රීන් සරූර් කොළඹදී සම්මානය ලබා ගැනීමෙන් අනතුරුව 'රේඩියෝ ගගන' සමග විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් පැවසුවාය.

 ජනපති “තමන්ගේ අය” පත් කිරීම:

 කල් මරමින් සිට නීතිගත කළ අතුරුදහන් වුවන් පිලිබඳ කාර්යාලය (OMP) තවමත් ක්‍රියාත්මක කර නැති ජනාධිපතිවරයා ඒ සඳහා “තමන්ගේ අය” කොමසාරිස්වරුන් ලෙස පත් කළහොත් එයින්ද ඥාතීන් බලාපොරොත්තු වන ආකාරයට තම දූ දරුවන්ගේ ඉරණම හෙළි කර ගත නොහැකි වනු ඇති බවට ඇය කණස්සලු වෙයි.

“මේක ජාත්‍යන්තර ප්‍රශ්නයක් නෙවෙයි, ලංකාවේ ප්‍රශ්නයක්,” යයි පවසන ඇය පෙන්වා දෙන්නේ දෙමළ, මුස්ලිම් මහත් බහුතරයක ඡන්දයෙන් තේරී පත්වූ ජනාධිපතිවරයාටම ප්‍රශ්නයට ප්‍රසිද්ධියේ විසඳුම් ලබා දීමේ වගකීම පැවරෙන බවයි.

“දෙමළ කාන්තාවන් බිත්ති හතරකින් වටකරගෙන තියාගෙන උත්තර දීලා වැඩක් නෑ.”

තුන් වතාවක්ම ජනාධිපතිවරයා හමුවීමට කොළඹ පැමිණි අතුරුදහන් වුවන්ගේ නෑසියන් මෑතදීත් සෑහීමකට පත්විය හැකි පිළිතුරක් නොලැබ අසන්තෝෂයෙන් ආපසු උතුරට ගියේ මාසයකට ඉහතදීය.

ජගත් බලවතුන් විශ්වාස කරන පරිද්දෙන් වත්මන් ආණ්ඩුව යහපාලනය ක්‍රියාවේ යොදවන්නේ නැති හෙයින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර ප්‍රජාවේ අවධානය යටතේ දිගටම තබා ගැනීමට බලපෑම සඳහා තමන් මානව හිමිකම් සහ නීතියේ ආධිපත්‍යය නගා සිටුවීම සඳහා වන ප්‍රංශ ජර්මන් සම්මානය පිළිගත් බව ශ්‍රීන් සරූර් කියා සිටියාය.

mangala 8

'සැමගේ මානව හිමිකම් සාක්ෂාත් කර දීම ආණ්ඩුවට තනිව කළ නොහැකි කාර්යයක් ..''

 කොළඹ ජර්මන් තානාපති නිල නිවසේ පැවති සම්මාන ප්‍රදානෝත්සවයකදී ශ්‍රීන් සරූර් ගේ මෙහෙවර අගයමින් ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය හා මුදල් අමාත්‍යවරයා කියා සිටියේ සියල්ලන්ම ඇතුළු කරගත් ආර්ථික සංවර්ධනයක් අත්කරගැනීමට යාමේදී සැමගේ මානව හිමිකම් සාක්ෂාත් කර දීම ආණ්ඩුවට තනිව කළ නොහැකි කාර්යයක් බවයි.

“ශ්‍රීන් විසින් කරන ලද සහ දිගටම කරගෙන යන කටයුතු වලින් සියල්ලන්ගේම අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීම පිණිස තවත් තරුණ පිරිසකටත් ගැහැණුන්ට සහ මිනිසුන්ටත් අනුප්‍රාණය ලැබෙනු ඇති,” බවට මංගල සමරවීර ඇමැති වරයා විශ්වාසය පල කළේය.

කාන්තාවන්ගේ අයිතිවාසිකම් දිනාගැනීම සහ ඔවුන් බලගැන්වීම වෙනුවෙන් මන්නාරම පදනම් කරගෙන කටයුතු කරන ශ්‍රීන් අබ්දුල් සරූර් උන්හිටි තැන් අහිමිවූ දෙමළ සහ මුස්ලිම් ජනකොටස් අතර සංහිඳියාව වෙනුවෙන් වෙහෙසෙන්නීය.

උතුර හමුදාකරණයට එරෙහිව දේශීය වශයෙන්ද, ජාත්‍යන්තර වශයෙන්ද හඬක් නගන ඇය මුස්ලිම් කාන්තාවන් තම ප්‍රජාව තුල අත්විඳින පීඩාවට එරෙහිව සටන් වදිමින් සිටී.

ශ්‍රී ලංකාවේ යුද පීඩිතයන්ට යුක්තිය ඉටු කිරීම සම්බන්ධයෙන් රජය සතුව දේශපාලන අභිප්‍රායක් නොමැති බව මුදල් අමාත්‍යවරයා ප්‍රමුඛ රජයේත් විපක්ෂයේත් මැති ඇමැතිවරුන් සහ ජාත්‍යන්තර දූත මණ්ඩල සාමාජිකයන් හමුවේ සම්මානය භාරගත් අවස්ථාවේ තමන් ප්‍රකාශ කළ බව ශ්‍රීන් සරූර් ගගන හා වැඩිදුරටත් කියා සිටියාය.

ඇය ඇතුළු රටවල් 15 ක මානව හිමිකම් ආරක්ෂකයන් හා ආරක්ෂිකාවන් මේ වසරේ ප්‍රංශ ජර්මන් සම්මානයෙන් පුද ලබා තිබේ.

(radiogagana)

වීඩියෝ

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න