Image

"නොමේරූ ළදරුවකුගේ ජීවිතය බේරාගැනීමෙන් පමණක් වගකීම අවසන් නොවේ"- සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි

"නොමේරූ ළදරුවකුගේ ජීවිතය බේරාගැනීමෙන් පමණක් වගකීම අවසන් නොවේ"- සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි
  • නොවැම්බර් 15 ලෝක නොමේරූ ළදරු දිනයයි.

නොවැම්බර් 15 දිනට යෙදෙන ලෝක නොමේරූ ළදරු දිනයට සමගාමීව ශ්‍රී ලංකා පරිජන්ම සංගමය විසින් සංවිධානය කරන ලද සැමරුම් උත්සවය හා දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහන සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණිගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (15) පස්වරුවේ කොළඹ සිටි සෙන්ටර් (Colombo City Centre) පරිශ්‍රයේ පිහිටි Courtyard by Marriott හෝටලයේදී පැවැත්විණි.

නොමේරූ ළදරුවන්ගේ ජීවිත සුරක්ෂිත කිරීම, ඔවුන්ගේ සෞඛ්‍ය හා සංවර්ධන අවශ්‍යතා පිළිබඳව සමාජයේ අවබෝධය පුළුල් කිරීම සහ එම දරුවන්ට අවශ්‍ය අඛණ්ඩ සත්කාර සේවාවන්හි වැදගත්කම අවධාරණය කිරීම මෙම සැමරුම් හා දැනුවත් කිරීමේ වැඩසටහනේ ප්‍රධාන අරමුණ විය.

1 1 2

 

ජීවිතය බේරාගැනීමෙන් පමණක් වගකීම අවසන් වන්නේ නැත

මෙහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි පවසුවේ නොමේරූ ළදරුවකුගේ ජීවිතය බේරාගැනීමෙන් පමණක් සෞඛ්‍ය සේවාවේ වගකීම අවසන් නොවන බවත්, එම දරුවාගේ ඉදිරි ජීවිතය නිරෝගීව හා සාමාන්‍ය වර්ධනයක් සහිතව ගොඩනැඟීම සඳහා අඛණ්ඩ පසු විපරම් සත්කාර අත්‍යවශ්‍ය වන බවත්ය.

විශේෂයෙන්ම නවජාත දැඩි සත්කාර ඒකකවල ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටව යන නොමේරූ ළදරුවන් කෙරෙහි ඉන් අනතුරුව ද අඛණ්ඩ අවධානය යොමු කළ යුතු බව පෙන්වා දුන් නියෝජ්‍ය අමාත්‍යවරයා, නිසි පසු විපරම් හා සංවර්ධන සත්කාර නොලැබීම හේතුවෙන් එම දරුවන්ගේ වර්ධනයට මෙන්ම පෙනීම සහ ශ්වසන ක්‍රියාකාරීත්වය ඇතුළු සෞඛ්‍ය තත්ත්වයන්ට ද ගැටලු ඇතිවීමේ අවදානමක් පවතින බව සඳහන් කළේය.

රාජ්‍ය සෞඛ්‍ය සේවයට පමණක් කළ හැකි වගකීමක් නොවේ

මාතෘ හා නවජාත සෞඛ්‍ය සේවාවන් ශක්තිමත් කිරීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රමුඛ අවධානයක් බව ද මෙහිදී අවධාරණය කළ නියෝජ්‍ය අමාත්‍යවරයා, අධි අවදානම් ගැබ්ගැනීම් කළමනාකරණය කිරීමේ සිට නොමේරූ ළදරුවන්ගේ ජීවිත සුරක්ෂිත කිරීම දක්වා සෞඛ්‍ය කාර්ය මණ්ඩලය ඉටුකරන මෙහෙවර ද අගය කළේය.

එමෙන්ම, නොමේරූ ළදරුවන්ට අවශ්‍ය සත්කාර සහ රැකවරණය සැලසීම රාජ්‍ය සෞඛ්‍ය සේවයේ පමණක් වගකීමක් ලෙස සැලකිය නොහැකි බවත්, ඒ සඳහා වෘත්තීය සංගම්, පෞද්ගලික අංශය සහ අනුග්‍රාහක පාර්ශ්වයන්ගේ ද ශක්තිමත් සහයෝගීතාව අත්‍යවශ්‍ය බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහි දී පෙන්වා දුන්නේය. සෑම නොමේරූ ළදරුවකුටම ජීවිතයේ උපරිම හැකියාවන් කරා ළඟාවීමට අවශ්‍ය රැකවරණය සහ අවස්ථා හිමිවිය යුතු බවත්, ඒ වෙනුවෙන් සාමූහික වගකීමකින් කටයුතු කිරීම සියලු පාර්ශ්වයන්ගේ යුතුකමක් බවත් අමාත්‍යවරයා මෙහි දී  වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

1 4 1

සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි සහ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සහභාගිත්වයෙන් විශේෂ විද්වත් කතිකාවතක් ද මෙහිදී පැවැත්වුණු අතර, නොමේරූ ළදරුවන්ගේ සෞඛ්‍ය සුරක්ෂිතතාව තහවුරු කිරීම සහ ඔවුන්ගේ අනාගත සෞඛ්‍ය තත්ත්වය වඩාත් යහපත් කිරීම අරමුණු කරගත් විශේෂ මාර්ගෝපදේශ මාලාවක් ද එළිදක්වන ලදී.

මෙරට සිදුවන සමස්ත දරු උපත්වලින් ආසන්න වශයෙන් සියයට 10ක් නොමේරූ දරු උපත් බව දත්ත පෙන්වා දෙයි. වෛද්‍ය විද්‍යාවේ දියුණුවත් සමඟ නොමේරූ ලෙස උපත ලබන ළදරුවන්ගේ ජීවිත සුරක්ෂිත කිරීමේ හැකියාව ඉහළ ගොස් තිබුණ ද, ඔවුන්ගේ සෞඛ්‍යය හා වර්ධනය අඛණ්ඩව තහවුරු කිරීම සඳහා නිසි වෛද්‍ය සත්කාර සහ දිගුකාලීන පසු විපරම් සේවාවන් අත්‍යවශ්‍ය වේ. එමඟින් නොමේරූ උපත් හේතුවෙන් ඇතිවිය හැකි සංකූලතා අවම කරගැනීමට මෙන්ම පවුල් සහ සමස්ත සමාජය මත ඇතිවන දිගුකාලීන සමාජීය හා ආර්ථික බලපෑම් අවම කිරීමට ද හැකියාව ලැබේ.

මාතෘ, භ්‍රෑණ සහ නවජාත සෞඛ්‍ය සේවාවන්හි ගුණාත්මකභාවය ඉහළ නැංවීම අරමුණු කරගත් ශ්‍රී ලංකා පරිජන්ම සංගමය, ප්‍රසව හා නාරිවේදය, ළමා රෝග සහ නවජාත සත්කාර ඇතුළු ක්ෂේත්‍ර නියෝජනය කරන බහුවිෂය වෛද්‍ය වෘත්තිකයන්ගෙන් සමන්විත සංවිධානයකි. විද්‍යාත්මක දැනුම හා පර්යේෂණ ප්‍රවර්ධනය කිරීම, වෛද්‍ය වෘත්තිකයන්ගේ දැනුම හා කුසලතා වර්ධනය කිරීම සහ මාතෘ හා ළදරු සෞඛ්‍ය සේවාවන්හි ප්‍රමිතීන් ඉහළ නැංවීම සඳහා අවශ්‍ය දායකත්වය ලබාදීම එම සංගමයේ ප්‍රධාන අරමුණු අතර වේ.

1 7

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා පරිජන්ම සංගමයේ සභාපති මහාචාර්ය රුවන්ති පෙරේරා, ලේකම් විශේෂඥ වෛද්‍ය ජිත්මා ෆොන්සේකා, භාණ්ඩාගාරික විශේෂඥ වෛද්‍ය රුවන් සිල්වා, තේරී පත්වූ සභාපති විශේෂඥ වෛද්‍ය ශ්‍රී තරන්, හිටපු සභාපති විශේෂඥ වෛද්‍ය හරේන්ද්‍ර දිසානායක යන අය ඇතුළු විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන් සහ සංගමයේ නියෝජිතයන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන | අමතන්න