බාල වයස්කාර දරු දැරියන් අනාරක්ෂිත භාවයට පත්වීම වළක්වා ගැනීම සඳහා වත්මන් රජය යටතේ පූර්ව උපාය මාර්ග සකස් කරන බව කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රී පෝල්රාජ් පවසයි.
අධ්‍යාපන පද්ධතිය තුළ මෙන්ම නාගරික වතු, ග්‍රාමීය වතු සහ පහළ සමාජ අධ්‍යාපන මට්ටම්වල සිටින පුද්ගලයන් ආරක්ෂා කිරීම ඒ යටතේ සිදුකිරීම රජයේ වගකීමක් බව වන බව ද ඇය සඳහන් කළාය.
උඩුදුම්බර ප්‍රදේශයේ නකල්ස් රක්ෂිතයේ ගල් ගුහාවක රඳවා සිටි 15 හැවිරිදි දැරියගේ සහ ඇය විසින් ප්‍රසූත කළ මාස දෙකක් වයසැති බිළිඳාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව සොයා බැලීම සඳහා මහනුවර ජාතික රෝහලට ඊයේ(15) පැමිණි අමාත්‍යවරිය, ඔවුන්ගේ සුව දුක් විමසීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ මේ බව ප්‍රකාශ කළාය.
මෙහිදී සිදුව ඇත්තේ උත්තරීතර ප්‍රේමයක් නොව, බාල වයස්කාර දැරියක අනාරක්ෂිත තත්ත්වයට පත්කිරීමක් වන නිසා වරදකරුවන්ට එරෙහිව දැඩි නීතිමය පියවර ගැනෙනු ඇතැයි ඇය කීවාය.
මෙවැනි සිද්ධීන් මගින් දැරියන් තවදුරටත් පීඩාවට පත්වන බැවින් ඉදිරියට මෙවැනි දෑ සිදු නොවීමට අවශ්‍ය පූර්ව ක්‍රියාමාර්ග සකස් කරන බවද ඇය සඳහන් කළාය. වයස අවුරුදු දහසයට (16) වඩා අඩු දැරියක මෙවැනි තත්ත්වයකට පත්කිරීම නීති විරෝධී ක්‍රියාවක් බවද ඇය පෙන්වා දුන්නාය.
දරුවන්ට නිසි අධ්‍යාපනය ලබාදීම දෙමාපියන්ගේ වගකීමක් වන බවත්, අධ්‍යාපනය නොලත් දරුවන් රවටා ගැනීම ඉතා පහසු ක්‍රියාවක් බවත් පෙන්වා දුන් අමාත්‍යවරිය, රජය නිරන්තරයෙන්ම උත්සාහ කරන්නේ දරුවන්ට උසස් අධ්‍යාපන මට්ටමක් ලබාදීමට බව කීවාය.
මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි කිරීම, නොමග යැවීම සහ විවිධ අපරාධවලට පොළඹවා ගැනීමට බොහෝ විට ගොදුරු වන්නේ අධ්‍යාපනය නිසි අයුරින් ලබා නොගත් පිරිස බව පැවසූ අමාත්‍යවරිය, උසස් අධ්‍යාපන මට්ටමක් ලැබූ දරුවෙකු වැරදි ක්‍රියාවන් සඳහා යොදවා ගැනීම අසීරු කාර්යයක් වන බව සඳහන් කළාය.
වයස අවුරුදු දහසය වන තුරු අනිවාර්යයෙන්ම පාසල් අධ්‍යාපනය ලැබිය යුතු බව සිහිපත් කළ අමාත්‍යවරිය, දරුවන් එලෙස පාසල් අධ්‍යාපනය කරා යොමු නොකරන්නේ නම් එම දෙමාපියන්ට එරෙහිව ඉදිරියේදී නීතිමය පියවර ගන්නා බවද අවධාරණය කළාය.
ලෝකය පිළිගන්නා තිරසර සංවර්ධන ඉලක්ක කරා ගමන් කරන ශ්‍රී ලංකාව මෙවැනි කණගාටුදායක තත්ත්වයන් වෙත යොමු නොවීමට අවශ්‍ය පියවර ඉදිරියේදී ගන්නා බවද අමාත්‍යවරිය තවදුරටත් සඳහන් කළාය.
මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ තුෂාරි ජයසිංහ මහත්මිය, මහනුවර ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය නිහාල් වීරසූරිය මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.
නදීක දයා බණ්ඩාර - මහනුවර
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
