Image

"සිර මැදිරියේ බැමිවලට එහා මගේ ආදරය අසීමිතයි…": තාත්තාගේ උපන්දිනයට නාමල්ගෙන් සංවේදී ලිපියක්

"සිර මැදිරියේ බැමිවලට එහා මගේ ආදරය අසීමිතයි…": තාත්තාගේ උපන්දිනයට නාමල්ගෙන් සංවේදී ලිපියක්

අද (18) දිනට යෙදෙන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ජන්ම දිනය වෙනුවෙන් දැනට සිරගතව සිටින ඔහුගේ වැඩිමහල් පුත් නාමල් රාජප්ක්ෂ විසින් සංවේදී ලිපියක් යොමු කර තිබෙනවා.

මෙම ලිපිය හරහා නාමල් රාජපක්ෂ  සිය පියා වන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කෙරෙහි තමන් තුළ ඇති අසීමිත ආදරය සහ බලවත් ගෞරවය පිළිබඳව සඳහන් කර ඇත. විශේෂයෙන්ම, වත්මන් අසීරු හා අභියෝගාත්මක කාලපරිච්ඡේදයට මුහුණ දීමේදී, ජීවිතයේ විවිධ අර්බුද හමුවේ නොසැලී සිටීමට සහ සත්‍යය වෙනුවෙන් නිර්භීතව පෙනී සිටීමට තම පියාගේ දීර්ඝ දේශපාලන හා ජීවන ගමනින් ලැබූ ආදර්ශය සහ ශක්තිය ඔහු මෙහිදී දැඩි ලෙස අගය කර ඇත.

මතු පළ වන්නේ එම ලිපියයි.

(උපුටා ගැනීම)

"මගේ ආදරණීය තාත්තාට,

ආදරණීය තාත්තේ,

මේ වසරේ ඔබගේ උපන්දිනය වෙනුවෙන්, ඔබ අසලින් සිටිමින් ඔබට සුබ පතන්නට නොහැකි ව පවුලෙන් සහ ආදරණීයයන්ගෙන් වෙන් ව මේ අසීරු කාලය ගත කිරීමට සිදු වුවද, සිර මැදිරියේ බැමිවලට එහා ඔබ වෙනුවෙන් මට ඇති ආදරයත්, ගෞරවයත් අසීමිතව දැනෙන බව සටහන් කරමි.

ජීවිතයේ අප කිසිදා නොසිතූ අභියෝගවලට මුහුණ දුන් අවස්ථාවලදී අපට ශක්තියක් වන්නේ අපේ දෙමාපියන්ගෙන් ලැබුණු ආදරය, ආදර්ශය සහ ජීවිත පාඩම්ය.

තාත්තේ, නායකත්වය යනු තනතුරක් දැරීම  පමණක් නොවන බව ඔබ අපට කියා දුන්නේය. එය වගකීම් භාර ගැනීමත්, අභියෝග හමුවේ නොසැලී සිටීමත්, තමන් විශ්වාස කරන දේ වෙනුවෙන් අභීතව පෙනී සිටීමත් බව ඔබගේ ජීවිතයෙන් අපට පෙන්වා දුන්නේය.

අපේ රටේ ඉතිහාසයේ අඳුරුතම කාල පරිච්ඡේදයකදී, මාතෘ භූමියේ දහසක් මව්වරුන්, පියවරුන් මෙන්ම ආදරණීය දුවා දරුවන් වෙනුවෙන් කිසිවෙකුට බිය නොවී සාමය උදා කළ අභීත නායකයා ඔබයි. ඒ වෙනුවෙන් ඔබ දැරූ වගකීම්, කැපකිරීම් සහ අභියෝග හමුවේ ඔබ දරාගත් බොහෝ දෑ පිළිබඳව මම පුතෙකු ලෙස ඉතා සමීපව දනිමි.

අද මම මුහුණ දෙන මේ අසීරු කාලය තුළ, ඔබ මට කියා දුන් ඉවසීම, ධෛර්යය සහ නොසැලෙන අධිෂ්ඨානයේ වටිනාකම තවත් ගැඹුරින් අවබෝධ කරගනිමින් සිටිමි. පියෙකුගේ හිත කෙතරම් ශක්තිමත් විය යුතු දැයි මා උගත්තේ ඔබගෙනි. දරුවකු කෙරෙහි ඇති ධාරක ස්නේහය හදවතේ ගැඹුරුම තැන හොවාගෙන ශක්තිමත් පියෙකු ලෙස ලෝකය ඉදිරියේ සමස්ත දැයේ දුවා දරුවන්ටත් පියෙකු වන්නට හැකි වන්නේ කෙසේදැයි මා උගත්තේ ඔබගෙනි. මේ සියල්ල දරා ගනිමින් සත්‍යය වෙනුවෙන් සටන් කරන මමද පියෙකි. අද ඔබ අසලින් සිටින්නට මට නොහැකි වුණත්, ඔබේ ලේ උරුමයෙන් ලද ම‌ගේ දරුවන් අද ඔබ අසල සිටිනු ඇත. මා වෙනුවෙන් ඔවුන් ඔබව වැළඳ ගනු ඇත. දෑත් වලින් ඔබ ව වැළඳ ගත නොහැකි නිසා, අකුරුවලින් ඔබ වැළඳ ගැනීමට සිතුවෙමි. ඒ, පියෙකු සහ පුතෙකු අතර ඇති බැඳීම දුරස්ථභාවයෙන් බිඳ දැමිය නොහැකි නිසාය.

දේශපාලන පරිසරය තුළ ඔබට අත්දකින්නට සිදු වූ අසීරුතා මෙන්ම තාඩන පීඩන ගැරහුම් හමුවේ ගිරුවාපත්තුවේ මහින්ද රාජපක්ෂ යන මහපොළොවේ පය ගැසූ මගේ තාත්තාට, ඔබේ ආදරණීය ලොකු පුතා වන මම නිදුක් නිරෝගී සුවයත්, මානසික ශක්තියත්, අසීමිත ආදරයත් මෙසේ ලියා තබමි.

සුබ උපන්දිනයක් වේවා මගේ ආදරණීය තාත්තේ!

හදපිරි ආදරයෙන්,

ඔබේ ආදරණීය ලොකු පුතා,

නාමල්"
(උපුටා ගැනීම අවසන්)

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන | අමතන්න