ශ්‍රී ලංකා ආර්ථික විද්‍යාඥයින්ගේ සංගමය (SLEA) විසින් සංවිධානය කරනු ලබන 2026 වාර්ෂික ජාත්‍යන්තර සමුළුව එළඹෙන නොවැම්බර් 21 සෙනසුරාදා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී (BMICH) පැවැත්වීමට කටයුතු යොදා ඇත.
"ශ්‍රී ලංකාවේ දැනුම පදනම් කරගත් ආර්ථිකයට මඟ පෑදීම" (Paving the Way for Sri Lanka's Knowledge Economy) යන්න මෙවර සමුළුවේ ප්‍රධාන තේමාව වන අතර, 2022 ආර්ථික අර්බුදයෙන් පසු 2028 වසරේ සිට විදේශ ණය ආපසු ගෙවීම ආරම්භ කිරීමට නියමිත පශ්චාත්-ස්ථායීකරණ වටපිටාව තුළ ජාතික සංවර්ධනය සඳහා ප්‍රායෝගික ප්‍රතිපත්තිමය නිර්දේශ සැකසීම මෙහි මූලික අරමුණ වේ.
ගාමිණී කොරයා පදනම (Gamani Corea Foundation) හා එක්ව පැවැත්වෙන මෙම සමුළුවේ සමාරම්භක සැසියේදී සංගමයේ සභාපති මහාචාර්ය සිරිමෙවන් කොළඹගේ විසින් සභාපති දේශනයත්, ආචාර්ය හර්ෂ අතුරුපාන විසින් ප්‍රධාන දේශනයත් පැවැත්වීමට නියමිතය. මෙම අවස්ථාවට ගෞරවනීය ආරාධිතයා ලෙස ඕස්ට්‍රේලියානු ජාතික විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ප්‍රේමචන්ද්‍ර අතුකෝරළ සහ ප්‍රධාන ආරාධිතයා ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති ආචාර්ය චන්ද්‍රනාත් අමරසේකර සහභාගී වන අතර, මහාචාර්ය අතුකෝරළගේ අලුත්ම ශාස්ත්‍රීය කෘතිය එළිදැක්වීමද මෙහිදී සිදුවේ.
පෙරවරු 8.30 සිට පස්වරු 4.30 දක්වා පැවැත්වෙන මෙම සමුළුව අතරතුර ඩිජිටල් පරිවර්තනය, මානව ප්‍රාග්ධන සංවර්ධනය, අධ්‍යාපනය, ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර (MSMEs), හරිත දැනුම පදනම් සහ බුද්ධිමය දේපළ ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් ආවරණය වන පරිදි සමාන්තර ශාස්ත්‍රීය සැසි හයක් (6) පැවැත්වීමට නියමිතය.
ජාත්‍යන්තර ආර්ථික සංගමයේ (IEA) සාමාජිකයෙකු වන ශ්‍රී ලංකා ආර්ථික විද්‍යාඥයින්ගේ සංගමය සංවිධානය කරන මෙම සමුළුව පිළිබඳ වැඩිදුර තොරතුරු slea.lk නිල වෙබ් අඩවියෙන් ලබාගත හැක.
ජේ.මුණසිංහ

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
