ශ්‍රී ලංකන් ගුවන් සේවයට එයාර්බස් මිලදී ගැනීමේදී සිදුවූ බව කියන මූල්‍ය අක්‍රමිකතා සහ මුදල් විශුද්ධිකරණ සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුලු සැකකරුවන් තිදෙනෙකුට එරෙහිව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ පවරා තිබු නඩු කටයුත්ත අවසන් කරන බව කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අද (18) නියෝග කළේය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පවරා තිබූ මෙම නඩුවට අදාළ මුල් වාර්තාව සහ නඩු භාණ්ඩ මේ වනවිටත් කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය වෙත යොමුකර තිබෙන බවද මහේස්ත්‍රාත්වරයා අධිකරණයට දැනුම් දුන්නේය.
සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු දක්වමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසා සිටියේ, මෙම සිද්ධියට අදාළව මේ වනවිට අල්ලස් කොමිසම විසින් කොළඹ ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණයේ අධි චෝදනා ගොනු කර ඇති බැවින් මෙම නඩු කටයුත්ත මෙම අධිකරණය අවසන් කරන ලෙසයි.
තවද, මෙම සිද්ධියට අදාළව පළමු සැකකරු වන කපිල චන්ද්‍රසේන මේ වන විටත් මියගොස් ඇති බවත් ඔහුගේ මරණ පරීක්ෂණ වාර්තාව තවමත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබී නොමැති බවයි විමර්ශන නිලධාරීන් අධිකරණයට දන්වා සිටියේ.
තවද, මෙම සිද්ධියට අදාළ ප්‍රියංකා නියෝමාලි සහ ශමින්ද්‍ර රාජපක්ෂ යන්න සැකකරුවන් දෙදෙනාට මේ වන විට විවෘත වරෙන්තු නිකුත් කර තිබෙන බවද විමර්ශන නිලධාරියා අධිකරණයට කරුණු දැක්වූයේය.
එම සිද්ධියට අදාළ සිව්වන සැකකරු වන නාමල් රාජපක්ෂ මේ වනවිට මෙම සිද්ධියට අදාළවම අල්ලස් කොමිසම විසින් කරනු ලබන විමර්ශනයකට අදාළව කොළඹ ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනුකර ඇති බවත්, හෙට(19) දිනය දක්වා බන්ධනාගාර භාරයේ තබා ගැනීමට නියෝග කර ඇති බව විමර්ශන නිලධාරියා අධිකරණයට දන්වා සිටියේය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂ ඇතුළු සැකකරුවන්ට කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ පවරා තිබූ නඩු කටයුත්ත අවසන් කරන බවට නියෝග කළේය.
නඩුව අධිකරණයේ විභාගයට ගැනීමෙන් පසුව බන්ධනාගාර නිලධාරීන් විසින් නාමල් රාජපක්ෂට අධිකරණයට රැගෙන එනු ලැබීය.
මෙම සිද්ධියට අදාළව නාමල් රාජපක්ෂ ඇප මත මුදා හැර තිබෙනවා.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
