මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනත කඩ කිරීම නිසා ආයතන දෙකකට රුපියල් ලක්ෂ 33ක පරිපාලන දඩ අයකිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ ශ්‍රී ලංකා මූල්‍ය බුද්ධි ඒකකය (FIU) විසින් කටයුතු කර තිබේ.
වසර 2026 අප්‍රේල් මාසයේ සිට ජූනි මාසය දක්වා වූ කාලපරිච්ඡේදය තුළ මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ විධිවිධානවලට අනුකූලව කටයුතු කිරීමට අපොහොසත් වූ වාර්තාකරණ ආයතන වෙතින් ශ්‍රී ලංකා මූල්‍ය බුද්ධි ඒකකය (FIU) විසින් රුපියල් ලක්ෂ තිස් තුනක (රු. 3,300,000.00) සමස්ත පරිපාලනමය දණ්ඩන අයකර ගෙන ඇත.
ශ්‍රී ලංකාවේ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ නියාමන ආයතනය ලෙස කටයුතු කරන මූල්‍ය බුද්ධි ඒකකය විසින් අය කරගන්නා ලද මෙම දඩ මුදල් සම්පූර්ණයෙන්ම ඒකාබද්ධ අරමුදලට බැර කර තිබේ. 2006 අංක 6 දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ 19(1) සහ 19(2) වගන්ති මඟින් පැවරී ඇති බලතල අනුව, අදාළ අනුකූල නොවන කටයුතුවල ස්වභාවය හා බැරෑරුම්කම සැලකිල්ලට ගෙන මෙම දණ්ඩන නියම කර ඇත.
කොමර්ෂල් ක්‍රෙඩිට් ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී ආයතනයට රු. මිලියන 3ක දඩයක්
මෙම කාලසීමාව තුළ වැඩිම දඩ මුදල පනවා ඇත්තේ කොමර්ෂල් ක්‍රෙඩිට් ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී (Commercial Credit and Finance PLC) ආයතනය වෙත වන අතර එම දඩ මුදල රුපියල් මිලියන තුනකි (රු. 3,000,000.00). 2026 අප්‍රේල් 09 වන දින පනවන ලද මෙම දඩය අදාළ සමාගම විසින් 2026 අප්‍රේල් 21 වන දින ගෙවා නිම කර ඇත.
එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල යෝජනා (UNSCRs) යටතේ නිකුත් කරන ලද නම් කරන ලද ලැයිස්තුවලට ඇතුළත් පුද්ගලයන් හෝ ආයතන සමඟ පවතින හා නව ව්‍යාපාරික සබඳතා ඵලදායී ලෙස පරීක්ෂා කිරීමට සහ පද්ධති යාවත්කාලීන කිරීමට අපොහොසත් වීම ඇතුළු කරුණු කිහිපයක් හේතුවෙන් මෙම දඩය නියම කර තිබේ. මූල්‍ය බුද්ධි ඒකකය මගින් සිදු කරන ලද ඉලක්කගත/හදිසි එතැන් පරීක්ෂණයකදී මෙම අනුකූල නොවීම් හඳුනාගෙන ඇත.
නිව් නටාෂා ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයට රු. ලක්ෂ 3ක දඩයක්
මීට අමතරව, නිව් නටාෂා ප්‍රයිවට් ලිමිටඩ් (New Natasha Private Limited) ආයතනය වෙත රුපියල් ලක්ෂ තුනක (රු. 300,000.00) පරිපාලන දඩයක් පනවා තිබේ. 2026 මැයි 15 වන දින පනවන ලද මෙම දඩ මුදල 2026 ජූනි 03 වන දින ගෙවා ඇත. රුපියල් ලක්ෂ දෙකක් හෝ ඊට සමාන විදේශ මුදල් ප්‍රමාණයක් ඉක්මවන ගනුදෙනු සඳහා පාරිභෝගිකයන් පිළිබඳ අනිවාර්ය තොරතුරු ලබා ගැනීමට, හඳුනාගැනීමේ ලේඛන පවත්වාගෙන යාමට, මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට අරමුදල් සැපයීම සම්බන්ධයෙන් අවදානම් තක්සේරුවක් කිරීමට සහ එක්සත් ජාතීන්ගේ සම්බාධක ලැයිස්තු සම්බන්ධයෙන් පාරිභෝගිකයන් සත්‍යාපනය කිරීමට අපොහොසත් වීම මීට හේතු වී ඇත.
ශ්‍රී ලංකා මහ බැංකුවේ විදේශ විනිමය දෙපාර්තමේන්තුව මගින් සිදු කළ එතැන් පරීක්ෂණයකදී මෙම දුර්වලතා අනාවරණය වී මූල්‍ය බුද්ධි ඒකකය වෙත වාර්තා කර ඇත. කෙසේ වෙතත්, මෙම සමාගම විසින් එක්සත් ජාතීන්ගේ ලැයිස්තුගත තැනැත්තන් සමඟ සෘජු ව්‍යාපාරික සබඳතා පවත්වා ඇති බවක් එම පරීක්ෂණයේදී අනාවරණය වී නොමැත.
-ජේ.මුණසිංහ-
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
