අධ්‍යාපනය නවීකරණය කිරීමට : මුදල් අමාත්‍යංශයට  ඩොලර් මිලියන 100ක් !

අධ්‍යාපනය නවීකරණය කිරීමට : මුදල් අමාත්‍යංශයට  ඩොලර් මිලියන 100ක් !

ශ්‍රී ලංකා රජය ලෝක බැංකුව සමඟ ශ්‍රී ලංකාවේ අධ්‍යාපන පද්ධතිය ශක්තිමත් කිරීම හා නවීකරණය කිරීම සඳහා ශ්‍රී ලංකාවේ උත්සාහයන් වෙනුවෙන් ලබා දෙන ඩොලර් මිලියන 100 ක ණය මුදල සඳහා ගිවිසුම අද (25) දින අත්සන් කරන ලදී.

ලෝක බැංකුව නියෝජනය කරමින් ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා ලෝක බැංකු අධ්‍යක්ෂිකා අයිඩා ස්වරායි රිඩ්ඩිහොග් මහත්මිය ද ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් මුදල් අමාත්‍යංශ ලේකම් ආර්.එච්.එස්. සමරතුංග  ද මෙම ගිවිසුම සඳහා  අත්සන් තබා ඇත.

පොදු අධ්‍යාපන නවීකරණ ව්‍යාපෘතිය (General Education Modernization Project - GEM) නමැති මෙම නව වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවේ සමාජය හා ආර්ථිකය තුළ සිදුවෙමින් පවතින පරිවර්තනයන් අනු‍කූලව පොදු අධ්‍යාපන පද්ධතියෙහි විෂයමාලා නවීකරණය කිරීම සහ විවිධාංගීකරණය කිරීම සිදු කරනු ඇත. 

ගණිතය සහ ඉංග්‍රීසි විෂයන්ට වැඩි අවධානයක් !

එසේම, ඉංග්‍රීසි භාෂාව හා ගණිතය වැනි ආර්ථික සංවර්ධනය සඳහා වැදගත් වන මූලෝපායික විෂයයන් කෙරෙහි මෙහිදී වැඩි අවධානයක් යොමු කරනු ඇත. අ.පො.ස. උසස් පෙළ හදාරන සිසුන් සඳහා විෂයධාරා පුළුල් කිරීම සඳහා මෙම ව්‍යාපෘතිය මගින් සහාය දක්වනු ඇති අතර එමගින් කලා, කළමනාකරණ, විද්‍යා, තාක්ෂණ සහ වෘත්තීය විෂයය ක්ෂේත්‍ර අතර වැඩි විෂයය ධාරා ප්‍ර‍මාණයක් අතරින් නම්‍යශීලී ලෙස සිය ක්ෂේත්‍ර‍ය තෝරාගැනීමට සිසුන්ට ඉඩ සැලසෙනු ඇත. ඉංග්‍රීසි භාෂාව සහ ගණිතය විෂයයන් සඳහා වන ඉගෙනුම් උපකාරක ඩිජිටල් තාක්ෂණය ලබාගත හැකි පරිදි සංවර්ධනය කෙරෙනු ලබන අතර වඩාත් අඩු වරප්‍රසාද සහිත ප්‍රදේශවල පිහිටි පාසල්වල දරුවන් පිළිබඳ වැඩි අවධානය යොමු කෙරෙනු ඇත.
 
අධ්‍යාපන ප්‍රවේශය‍න් පුළුල් කිරීමෙහි ලා ශ්‍රී ලංකාව කැපී පෙනෙන ප්‍රගතියක් තිබෙනවා -  ලෝක බැංකු අධ්‍යක්ෂිකා අයිඩා ස්වරායි රිඩ්ඩිහොග්  
 "අධ්‍යාපන ප්‍රවේශය‍න් පුළුල් කිරීමෙහි ලා ශ්‍රී ලංකාව කැපී පෙනෙන ප්‍රගතියක් ලබා ඇත. කෙසේ වෙතත්, ඉහළ මැදි ආදායම් ලබන රටක තත්වය කරා ළඟා වීමට, එහි සමස්ත ඉගැන්වීම් හි ප්‍ර‍තිඵල තවදුරටත් වැඩිදියුණු කළ යුතුය. 21 වන ශතවර්ෂයේ රැකියා අවස්ථා සපුරාලීම සඳහා උසස් තත්ත්වයේ පොදු අධ්‍යාපන පද්ධතියක් හරහා සිසුන්ට අධ්‍යාපන අවස්ථා ලබා දිය යුතු බව ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ප්‍රතිපත්ති සම්පාදකයින් හඳුනාගෙන ඇත. " යනුවෙන් ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා ලෝක බැංකු අධ්‍යක්ෂිකා අයිඩා ස්වරායි රිඩ්ඩිහොග් මහත්මිය පැවසී ය. 

"සමස්ථ දරුවන්ට, ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනයට දායක වීමට අවශ්‍ය සියලු මූලික පදනම් දැනුම, විශේෂයෙන්, ගණිත හා ඉංග්‍රීසි භාෂා ක්ෂේත්‍ර‍යන් තුළ, සහ කුසලතාවයන් ලබා ගැනීමට අවස්ථාව ලබා දෙනු පිණිස රජය සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට ඉඩ ලැබීම ගැන අපි සතුටු වන්නෙමු" යැයි ඇය තවදුරටත් සඳහන් කළා ය. 
 
මෙම ව්‍යාපෘතිය ඔස්සේ ප්‍රාථමික (1-5 වසර තෙක්) සහ ද්වීතියික (6-13 වසර තෙක්) යන මට්ටම් දෙකෙහිම පාසැල් සිසුන්ට ප්‍රතිලාභ හිමිවනු ඇත. එමෙන්ම, තාක්ෂණික අධ්‍යාපන හා වෘත්තීය පුහුණු ආයතනවලට හා පාසල්වල ගුරු සහ කළමනාකරණ කාර්ය මණ්ඩලවලට ද මෙම ව්‍යාපෘතියෙන් ප්‍රතිලාභ හිමි වනු ඇත.
 
ලෝක බැංකුව, ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රය හා සම්බන්ධ දිගුකාලීන සහයෝගීතා ආයතනයකි. ලෝක බැංකු ආධාරයෙන් ක්‍රියාත්මක වුණු පාසැල් අධ්‍යාපන පද්ධතිය පරිවර්තනය කිරීමේ ව්‍යාපෘතිය (Transforming School Education System Project - TSEP), නිසි ලෙස චක්‍රීයව ක්‍රියාත්මක වන ඉගැනුම් ප්‍ර‍තිඵල සම්බන්ධ ජාතික ඇගයුම් පද්ධතියක් හඳුන්වා දෙමින් සහ සියලු කලාපවල පාසැල් පරිපාලනයට සහාය වන පාසැල පදනම් වූ කළමණාකරණ ක්‍ර‍මයක් හඳුන්වා දෙමින්, 1-11 වසර දක්වා (වයස අවුරුදු 6 සිට 16 දක්වා) පාසැල් අධ්‍යාපනය තුළ රැඳෙන සිසුන්ගේ ප්‍රතිශතය 87% ක් දක්වා ඉහළ නැංවීමට උපකාර කොට ඇත. තවද පාසැල් මූලික පරිපාලන ක්‍රමයක් (School Based Management - SBM) සියලු පාසල්වල පරිපාලනය සඳහා සහයෝගය ලබා දීම ආරම්භ කරන ලදී. මීට අමතරව මෙම ව්‍යාපෘතිය, අධ්‍යාපන පරිපාලන මට්ටම විමධ්‍යගත කිරීමේ ධාරිතාව ශක්තිමත් කිරීම සඳහා ද සහාය විය.
 
"මැදි ආදායම් ලබන සහ ඉහළ ආදායම් ලබන අධ්‍යාපනික පද්ධතිවල ස්ථාපනය කර ඇති අන්තර්ජාතික ප්‍රමිතිවලට අනුකූල ප්‍රාථමික හා ද්විතීයික අධ්‍යාපන පද්ධතියක් දක්වා මෙරට අධ්‍යාපන පද්ධතිය නවීකරණය කිරීම සඳහා GEM වැඩසටහන රජයට සහාය දෙනු ඇතැයි" ව්‍යාපෘතියේ ප්‍රධාන ආර්ථික විශේෂඥ හා ලෝක බැංකු කාර්ය සාධක කණ්ඩායම් නායක හර්ෂ අතුරුපාන මහතා පැවසීය. 

"සමස්ථ පොදු අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක කිරීම සහ GEM වැඩසටහන විසින් අනුග්‍රහය ලබා දෙන මූලික ප්‍රමුඛතාවන් සිසුන්ගේ අධ්‍යයන ප්‍ර‍තිඵල හා ඉහළ සමාජ හා චිත්තවේගීය කුසලතා වර්ධනය කිරීමට හේතු වනු ඇතැයි" ඔහු තවදුරටත් පැවසීය.
 
අද දින සම්මත කරන ලද පොදු අධ්‍යාපන නවීකරණ ව්‍යාපෘතිය (GEM), පෙර ක්‍රියාත්මක වුණු පාසැල් අධ්‍යාපන පද්ධතිය පරිවර්තනය කිරීමේ ව්‍යාපෘතිය (TSEP) මගින් ලබාගත් අත්දැකීම් හා පාඩම් පදනම් කරගනිමින් කටයුතු මෙහෙයවා පොදු අධ්‍යාපන ක්ෂේත්‍ර‍යට ලෝක බැංකුව ලබා දෙන සහයෝගය ශක්තිමත් කරනු ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න