Language Switcher

V2025

දුෂණ විරෝධී රටවල් අතර පළමු තැනට ලංකාව ගේනවා - ජනාධිපති  

තම ධුර කාලය තුළ දී  ලෝකයේ දූෂණයට එරෙහිව ක‍්‍රියාකරන රටවල් අතර ශ‍්‍රී ලංකාව පළමු තැනට පත්කිරීම තම අරමුණ බව ජනපති මෛත්‍රීපාල සිරිසේන සඳහන් කර ඇත.

ජනාධිපතිවරයා මේ බව සඳහන්කර සිටියේ  අද (25) පෙරවරුවේ කොළඹ දී ආරම්භ වූ ජකර්තා මූලධර්ම පිළිබඳ  එක්සත් ජාතීන්ගේ විශේෂඥ කණ්ඩායම් රැස්වීමේ ප‍්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමිනි.

ලොව පුරා දූෂණයට එරෙහිව ක‍්‍රියාකරන ආයතන ශක්තිමත් කිරීමේ අරමුණින් 2012 වසරේ දී ඉන්දුනීසියාවේ ජකර්තා නුවර දී රැස්වූ රටවල් 88 කට අයත් සංවිධාන සහ ආයතන විසින් පැමිණි එකඟතා, ජකර්තා මූලධර්ම ලෙසින් හැඳින්වෙන  අතර, එහිදී එළිදක්වන ලද ප‍්‍රකාශය ශක්තිමත් කිරීමේ අරමුණින් මෙවර සමුළුව කොළඹ දී සංවිධානය කොට ඇත.

බලය සහ දූෂණය එක්ව බැඳී ඇති දම්වැලක් සේ එකට ගමන් ගන්නා බව මෙහිදී සඳහන් කළ ජනාධිපතිවරයා අල්ලස සහ දූෂණය ද අපරාධ සහ මත්ද්‍රව්‍ය ද ලොව පුරා සංවර්ධිත හා සංවර්ධනය වෙමින් පවතින රටවල් මුහුණ දෙන ප‍්‍රධානතම අභියෝගය බව ද කියා සිිටියේය. 

2015 ජනාධිපතිවරණය ජයග‍්‍රහණය කිරීමෙන් අනතුරුව එම ජනාධිපතිවරණ සටනේ ප‍්‍රධාන පොරොන්දුවක් වූ ජනාධිපති ධුරයේ අසීමිත බලතල ඉවත් කිරිමට තමා කළ කැපවීම මෙහිදී සිහිපත් කළ ජනාධිපතිවරයා, තමා ජනාධිපති ධුරයට පත්වන විට 18 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් රාජාණ්ඩුවක තත්ත්වයේ බලතල ජනාධිපති ධුරයට එක්කර තිබූ බවත් සිහිපත් කළේය.

ස්වාධීන කොමිෂන් සභා ස්ථාපනය කොට, ස්වාධීන අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම, ස්වාධීන අධිකරණය ඇතුළු ආයතන රට තුළ තහවුරු කිරීමට හැකිවීම මෙරට පොදු ජනයා ලද සුවිශාල ජයග‍්‍රහණයක් බව ප‍්‍රකාශ කළ ජනාධිපතිතුමා දුරකතන ඇමතුම් මගින් විනිශ්චයකාරවරුන් දිය යුතු නඩු තීන්දුව දේශපාලනඥයින් විසින් දැනුම් දුන් යුගය එයින් අවසන් කිරීමට හැකි වූ බවද සඳහන් කළේය.

එසේම ශ‍්‍රී ලංකාවේ අල්ලස් කොමිසම පිහිටුවා වසර 25 කට ආසන්න කාලයක් ගතව තිබුණ ද මෙරට අල්ලස හෝ දූෂණය මැඞීමට ප‍්‍රමාණවත් බලයක් එම ආයතනයට හිමි ව නොතිබූ බව සඳහන් කළ ජනාධිපතිතුමා, 19 වන සංශෝධනය මගින් පූර්ණ ස්වාධීනත්වයෙන් යුත් අල්ලස් හෝ දූෂණ කොමිසමක් ස්ථාපනය කිරීමට හැකිවූ බව ද ප‍්‍රකාශ කළේය.

දූෂණයට එරෙහිව එක්සත් ජාතීන්ගේ සංවිධානය ප‍්‍රමුඛ ජාත්‍යන්තර සංවිධාන සමග ශක්තිමත්ව එක්ව ගමන් කිරීම තම රජයේ අරමුණ බව ද පෙන්වා දුන් ජනාධිපතිතුමා විදේශ රටවල සැඟව  සිටින මහා පරිමාණ දුෂණ ක‍්‍රියා සිදුකළ පුද්ගලයින් නීතියේ රැහැනට හසුකර ගැනීමට ජාත්‍යන්තර සංවිධාන වල ද මැදිහත්වීම සහ සහාය අපේක්ෂා කරන බව ද කියා සිටියේය.

දූෂිත රාජ්‍ය නිලධාරීන් සහ දූෂිත දේශපාලනඥයින් පාට පක්ෂ භේදයකින් තොරව සන්ධානගත වී දූෂණ විරෝධී වැඩපිළිවෙල වැළැක්වීමට ක‍්‍රියාමාර්ග ගනිමින් සිටින බව ද මෙහිදී කියා සිටි ජනාධිපතිතුමා කුමන බාධක පැමිණියත් එම වැඩපිළිවෙල අඛණ්ඩව ක‍්‍රියාත්මක කරන බව අවධාරණය කර ඇත.