Language Switcher

V2025

'ජනාධිපති අපේක්ෂකයා චමල් හෝ දිනේෂ්'  - වාසු ඒකාබද්ධයේ තීන්දු කඩයි 

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දිනේෂ් ගුණවර්ධන හෝ  චමල් රාජපක්ෂ යන පාරම්පරික දේශපාලනඥයින් දෙදෙනාගෙන් අයකු ඉදිරි ජනාධිපතිවරණයට ඒකාබද්ධ විපක්ෂයෙන් ඉදිරිපත් කල යුතු බව ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර යළිත්  අවධාරණය කර සිටියි.

පුවත් වෙබ් අඩවියක් සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කර ඇත.එසේම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍ය ධුරයට වුවහොත් 2020 වසරේදී ජනාධිපතිවරණයක් පැවැත්වීමට අවශ්‍ය නොවන බවද ඔහු සඳහන් කර ඇත.

වාසුදේව නානායක්කාර මන්ත්‍රීවරයා කියා සිටියේ 2020 පෙර අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා පත් කිරීමේ සැලසුමක් ඇති බවත් එය සාර්ථක වුවහොත් ජනාධිපතිවරණය පැවැත්වීමට අවශ්‍ය නොවන ආකාරයට පවතින ව්‍යවස්ථාව සංශෝධන කරන බවද ඔහු පවසා තිබේ.
අදාළ සාකච්ඡාවේදී  රටේ ඊලඟ ජනාධිපති වෙන්න සුදුස්සා කවුදැයි කල විමසීමේදී වාසුදේව නානායක්කාර මන්ත්‍රීවරයා මෙසේ පවසයි.

'අපි එකඟවෙලා තියෙනවා මේ ප්‍රශ්නය අපි කතා කරන්නේ නැහැ කියලා. ඒ කියන්නේ අපේ ඒකාබද්ධ විපක්ෂයේ මේ ප්‍රශ්නය පිළිබඳ තීන්දුවක් ගන්න තුරු අපි මේ ගැන කතා කරන්නේ නැහැ කියන එකඟත්වයක ඉන්න නිසා මට එකඟත්වය කඩන්න අමාරුයි. 

නැත්නම් මට අදහසක් තියෙනවා කවුද විය යුතු කියලා. ඒක කිවුවොත් මම එතකොට මගේ එකඟත්වය බින්දා වෙනවා. නමුත් මගේ හිතේ තියෙන අදහස නොකිය ඉන්නත් බැහැ මෙහෙම ඇහුවම. එක්තරා විදිහකට මම හිතාගෙන ඉන්න අය තමයි චමල් රාජපක්ෂ, දිනේෂ් ගුණවර්ධන, මේ වගේ අය මම හිතනවා හොඳ දේශපාලඥයෝ, කිළිටි නොවූ ඒ වගේම චෝදනාවලට ලක් නොවූ, ඒවගේම ජනතාවාදී පසුබිමක් තිබෙන.ඔවුන්ගේ දෙමාපියන්ගේ කාලෙ ඉඳලා ඔවුන් ඇත්ත වශයෙන්ම හැදී වැඩී තිබෙන්නේ ඒ ජීවන පරමාර්ථත් එක්කයි.''

රාජපක්ෂ කෙනෙක්ම ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න  අදහසක් තිබුණොත්  මොකද වෙන්නේ?
''ඔය ප්‍රශ්නය සාකච්ඡාවට ගියත් මම අයිමත් පටලැවෙනවා මම ඉවත්විය යුතුව සිටින සාකච්ඡාවක්. ඒ නිසා මේ කතාව මෙතනින් එහා මට

සම්බන්ධ වෙන්න බැරි කතාවක්ව තිබෙනවා.''

වාසුට එකඟතාව කඩන්න වුනේ ඇයි ?

වාසුදේව නානායක්කාර මහතා මෙම ප්‍රකාශය කරන්නේ ඉදිරි ජනාධිපතිවරණයේ දී ඒකාබද්ධ විපක්ෂය විසින් ඉදිරිපත් කරන අපේක්ෂකයා ගැන ප්‍රසිද්ධියේ අදහස් නොදැක්විය යුතු බවට ඒකාබද්ධ විපක්ෂය තීන්දුවක් ගෙන තිබියදීය.

එහෙත්, 'හිට්ලර්වාදී' විශ්‍රාමික හමුදා ජුන්ටාව සෑම සති අන්තයකම රටපුරා රැස්වීම පවත්වමින් ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති අපේක්ෂකයා කිරීමට දරන උත්සාහයට ඒකාබද්ධයේ බොහෝ නායකයින් ගෙන් දැඩි විරෝධයක් එල්ලවී ඇති අතර වාසුදේව නානායක්කාර මහතාගේ ඉහත ප්‍රකාශය ඒ සම්බන්ධයෙන් වූ විරෝධය පළකිරීමක් ලෙස දකින්නට හැක.

'ගෝඨා පසුපස සිටින බලවේගය අතිශය භයානකයි'

පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී ද අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා, ''ගෝඨාභය රාජපක්‍ෂ මහතා පසුපස සිටින බලවේග අතිශය භයානක බව'' පැවසිය. 

 ඉතාම දැඩි මිලිටරි ආණ්ඩුවක් ගොඩනැගීමට එම පිරිස සුදානම්වන බවට මන්ත්‍රීවරයා අනතුරු ඇඟවිය.
ගෝඨාභය රාජපක්‍ෂ මහතා දේපාලඥයෙකු නොවන බවත් ඔහු හුදෙක්ම හමුදා නිලධාරියෙක් පමණක් බවද මන්ත්‍රීවරයා එම මාධ්‍ය හමුවේදී අවධාරණය කර සිටියේය.

වාසුදේව නානායක්කාර මහතා එහිදී වැඩිදුරටත් මෙසේද පැවසිය.

හමුදා ආණ්ඩුවක් හදාගැනීමේ අභිප්‍රායෙන්.

''මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී බලවේගවල කැමැත්තක් නැහැ. අපි අරගෙන බැලුවොත් පක්ෂ හැටියට වමේ පක්ෂ කවුරුත් එකඟ නැහැ. පෙරටුගාමී පක්ෂයත් එකඟ නැහැ. ජේවීපී ගත්තොත් එගොල්ලොත් එකඟ නැහැ. දෙමළ සන්ධානයත් එකඟ නැහැ. යූඑන්පී එකත් එකඟ නැහැ. මේ අපේ ජේඕ එකෙත් කොටසක් එකඟ නැහැ.

හමුදාවේ විශ්‍රාමික නිලධාරීන්, ඉහල මැද පංතියේ ඉංග්‍රීසි කතාකරන මහත්තුරු නෝනලා, වෘත්තීයවේදී කට්ටිය, කර්මාන්ත කරුවෝ, මහා ධනපතියොන්ට මේ රටේ උද්ඝෝෂණ තියෙන්න බැහැ. වැඩ වර්ජන තියෙන්න බැහැ. මේ රටේ අයිතිවාසිකම් ගැන කතා කරන්න බැහැ. ඒවා හරියට මර්ධනය කරන්න පුළුවන් කෙනෙක් තමයි ඒගොල්ලෝ හොයන්නේ.

දෙවෙනි එක හමුදා නිලධාරීන්. හමුදා ආණ්ඩුවක් හදාගැනීමේ අභිප්‍රායෙන්. වියත් මගේ සම්පූර්ණ බලඇණිය තමයි ඔය කියන වෘත්තීයවේදීන්, දේශීය මහා ධනවතුන් හා මහා ව්‍යාපාරිකයින් තමයි ඒකේ ප්‍රධාන බලඇණිය. මහින්ද මහත්තයාගේ චරිතයේ ලක්ෂණ නෙවෙයිනෙ තියෙන්නේ. අපිට ඕනේ මහින්ද මහත්මයාගේ නායකත්වය. දැන් එතුමා දාන්න බැහැනෙ මේකට. ඒ නිසා එතුමාගේ නායකත්වයක් වැනි නායකත්වයක් අපිට උවමනායි.''

එකාබද්ධයේ ගැටුම පැහැදිළියි !

කෙසේ වුවත් මීට පෙර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සඳහන් කර තිබුනේ  ඒකාබද්ධයේ ප්‍රධානීන් කිසිවෙක් ඊළඟ  ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන අපේක්ෂකයා ගැන ප්‍රසිද්ධියේ අදහස් නොදක්වන ලෙසය. එහෙත්  වාසුදේව නානායක්කාර මන්ත්‍රීතුමා මෙවැනි ප්‍රකාශයක් කලේ, ගෝඨාභය රාජපක්ෂව ඊළඟ ජනාධිපතිවරණ අපේක්ෂකයා කර ගැනීම වෙනුවෙන්  විශ්‍රාමික මිල්ටරි ජුන්ටාව සෑම සති අන්තයකම රටපුරා රැස්වීම පවත්වමින් සිටින පසුබිමකය. එයින් පෙනෙන්නේ වාසුදේව මන්ත්‍රීවරයා ඇතුළු පිරිසක්  ගෝඨාභය රාජපක්ෂව  ජනාධිපති අපේක්ෂකයා කිරීමට දරන උත්සාහය සම්බන්ධ බරපතල  විරෝධය පෑමක් දක්වමින් සිටින බවය.