විදුලි මාෆියාවේ ගැහිල්ලක් : වෙරිටේ රිසර්ච් අනාවරණයක් 

විදුලි මාෆියාවේ ගැහිල්ලක් : වෙරිටේ රිසර්ච් අනාවරණයක් 

ලංකා ට්‍රාන්ස්ෆෝමර් හෙවත් LTL නමින් විදුලි බල මණ්ඩලයට බහුතර කොටස් හිමි සමාගමක් හරහා  මහාපරිමාණ මහජන මුදල් අවභාවිතයක් සිදුව ඇති බව  වෙරිටේ රිසර්ච් ආයතනය සිදුකළ විශේෂ සමීක්ෂණයකින් අනාවරණය කරගෙන ඇත.

ඒ  ශ්‍රී ලංකා රජය ජනතා මුදල් විශාල අවදානමක් දරමින් කිසිඳු ප්‍රතිලාභයකින් තොරව ආයෝජනය කර ඇති බව ය.

වාර්තාවේ දැක්වෙන ආකාරයට කෙරවලපිටිය මෙගාවොට් 300 ක ද්විත්ව චක්‍ර විදුලි බලාගාරය ඉදිකිරීම සඳහා වෙස්ට් කෝස්ට් පවර් නමින් සමාගමක් ආරම්භ කර තිබුණේ 2006 වසරේදී ය. ලංකා ට්‍රාන්ස් ෆෝමර් සමාගමට වැඩි කොටස් අයිතියක් ඇති උප සමාගමක් වන ලක්දනවි මෙහි ප්‍රධාන කොටස්කරු ලෙස ක්‍රියාකළ යුතු බව මුලින් තීරණය වී තිබුණි.

එහෙත් ව්‍යාපෘතිය සඳහා රුපියල් බිලියන 22.7 ක ණය පහසුකමක් HSBC බැංකුව හරහා ලබාගෙන තිබුණේ රජයේ ඇපවීම මතය.

ජාතික ඉතිරීමේ බැංකුවෙන් තවත් රුපියල් බිලියන 2යි දශම 9ක් ද සේවක අර්ථ සාධක අරමුදලින් තවත් රුපියල් බිලියන 2 යි දශම 9 ක මුදලක් ද රජය ඇපවී මෙම ව්‍යපෘතියට ලබා දී තිබේ. රුපියල් බිලියන 28 යි දශම 7 කට ආසන්න ණය ප්‍රමාණයක් වෙස්ට් කෝස්ට් සමාගමට කෙරවළපිටිය ව්‍යාපෘතිය සඳහා ලබා ගැනීමට රජය ඇප වී තිබුණි.

රටේ ක්‍රියාත්මක වන විදේශීය ණය පනත අනුව මෙවැනි ව්‍යාපෘති සඳහා රජය ඇපවන්නේ නම් එහි සියයට 50 ක හිමිකාරිත්වය රජය සතු විය යුතු වේ.

සමීක්ෂණයෙන් හෙළිවී ඇත්තේ වෙස්ට් කෝස්ට් සමාගමේ සියයට 50 ක කොටස් අවස්ථා 14 කදී තාවකාලික පදනම මත මෙම අවශ්‍යතාව සපුරාලීම සඳහා රජයට පවරා ඇති බව ය.

2011 මාර්තු මාසය වනවිට වෙස්ට් කෝස්ට් සමාගමේ සියයට 50 ක කොටස් රජය සතුවූ අතර විදුලි බල මණ්ඩලයට අයත් ලංකා විදුලි පුද්ගලික සමාගමට සියයට 18.2 ක් ද සේවක අර්ථ සාධක අරමුදලට 27.1 ක්ද ලක්දනවි සමාගමට සියයට 4.8 ක්ද වශයෙන් දැක්විය.

එහෙත් මෙම සමීක්ෂණය අනාවරණය කරන්නේ මේ ඇපවීම වෙනුවෙන් ශ්‍රී ලංකා රජයට කිසිඳු ලාභාංශයක් ගෙවා නොමැති බව ය.

නමුත් ලක්දනවි, ලෙකෝ සහ සේවක අර්ථ සාධක අරමුදලට පමණක් ලාභාංශ ගෙවා තිබේ. එම ගෙවීම්ද සිදුකර ඇත්තේ ඉතා පුදුම සහගත ලෙස ය.

සමීක්ෂණය අනාවරණය කරන පරිදි සියයට 4.8 ක් කොටස් හිමි ලක්දනවි සමාගමට සියයට 39.75 ක ලාභාංශ ගෙවා තිබේ.

සියයට 27.1 ක් කොටස් හිමි සේවක අර්ථ සාධක අරමුදලට ගෙවා ඇත්තේ සියයට 20.04 ක ලාභාංශයකි. ලංකා විදුලි පුද්ගලික සමාගමට සියයට 18.2 ක කොටස් හිමි අතර ඔවුන්ට ද ගෙවා ඇත්තේ සියයට 20.4 ක ලාභාංශ ප්‍රතිශතකයකි.

මේ ව්‍යාපෘතියේ තවත් පුදුමසහගත කරුණක් වන්නේ ණය ප්‍රමාණය ගෙවා අවසන් වීමෙන් පසුව ආණ්ඩුව සතු සියයට 50 ක කොටස් ලක්දනවි සමාගමට පැවරිය යුතු බවට එකඟතාවක් ඇතිකර ගැනීමයි.

වෙස්ට් කෝස්ට් සමාගමේ කොටස් හිමිකාරිත්වයෙන් සියයට 48 යි දශම 5 ක් විදුලි බල මණ්ඩලයෙන් පරිභාහිරව ඇති බවද මේ සමීක්ෂණය අනාවරණය කර තිබේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න