හෙජින් බේරුම් ක්‍රියාවලියට මිලියන 417ක් ගෙවලා

හෙජින් බේරුම් ක්‍රියාවලියට මිලියන 417ක් ගෙවලා

රුපියල් බිලියන 14.62කට ආසන්න අලාභයක් සිදු වී ඇති හෙජින් ගනුදෙනුවේ බේරුම් කිරීමේ ක්‍රියාවලිය සඳහා පසුගිය සන්ධාන පාලන සමයේ දී ශ්‍රී ලංකා මහා බැංකු අරමුණුවලට පටහැනිව රුපියල් මිලියන 417.32 මුදලක් ගෙවා ඇති බව එහි අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

ශ්‍රී ලංකා මහා බැංකුව මෙම ගෙවීම් සිදු කර ඇත්තේ හෙජින් ගනුදෙනුවේ බේරුම් කිරීමේ ක්‍රියාවලිය සඳහා පෙනී සිටි විදේශීය නිතීඥයන්ට 2010 වසරේ සිට 2014 වසර දක්වා කාලය සඳහාය.

මීට අමතරව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අවලංගු කිරීමේ කටයුතු සඳහා වන පරිපාලන වියදම් ලෙස ආයෝජන ආරවුල් නිරවුල් කිරීම සඳහා වන ජාත්‍යන්තර මධ්‍යස්ථානයට රුපියල් මිලියන 25.62ක්ද, 2015 වසර සඳහා විදේශීය නීතිඥ ගාස්තුවලට අදාළව ගිණුම්වල රුපියල් මිලියන 13.08 ප්‍රතිපාදනයක් ද කර තිබුණි.

විදේශීය නීතිඥයන් සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ අරමුණුවලට පටහැනිව හෙජින් ගනුදෙනුවේ බේරුම් කිරීමේ ක්‍රියාවලිය සඳහා ගෙවා ඇති රුපියල් මිලියන 417.32 ක මුදල පිළිබඳව ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය අංශයේ ඉහළ පෙළේ නිලධාරියකුගෙන් කළ විමසීමක දී ප්‍රකාශ කළේ හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඞ් කබ්රාල් මහතා අදාළ ගෙවීම කිරීමට උපදෙස් ලබා දුන්නේ එම මුදල් ආපසු අය කර ගැනීමේ පදනමකින් තොරව බවය.

අවිධිමත් හෙජින් ගනුදෙනුව පිළිබඳව නීතිපති දෙපාර්තමේන්තුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ඉතාම ගැඹුරින් අධ්‍යයන කටයුතු සිදු කරමින් සිටින බැවින් අදාළ ආයතනවල පරීක්ෂණවලට දිය හැකි උපරිම සහාය ලබා දීමට තීරණය කර ඇති බව ඛණිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා මේ සම්බන්ධයෙන් කළ විමසීමක දී පැවසීය.

(සත්හඬ)

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න