පොරොන්දු දේශපාලනයට රැවටෙන ජනතාවට මංගලගෙන් පාඩමක් !

පොරොන්දු දේශපාලනයට රැවටෙන ජනතාවට මංගලගෙන් පාඩමක් !

ජනතාව අත්පොලසන් දිය යුත්තේ දේශපාලනඥයා පොරොන්දු ලබා දෙන විට නොව පොරොන්දු ඉටු කරන විට බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර පවසයි. 

දේශපාලනඥයන්ගේ පොරොන්දුවලට අත්පොලසන් ලබා දීමේ ප්‍රතිවිපාක පසුගිය වසර දහයක කාලය තුළ ජනතාවට විඳින්නට සිදු වූ බවද අමාත්‍යවරයා පෙන්වා දෙයි.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ පොළොන්නරුව, ඇළහැර, පොකුරුගම පානීය ජල යෝජනා ක්‍රමය ජනතා අයිතිට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමිනි. රුපියල් කෝටි 6000ක වියදමින් ක්‍රියාත්මක පිබිදෙමු පොළොන්නරුව වැඩසටහන යටතේ ආරම්භ කෙරෙන ව්‍යාපෘති 180න් එකක් ලෙස මෙම ව්‍යාපෘතිය අද (01) ජනතා අයිතියට පත් කෙරිණි. ප්‍රදේශය පුරා පැතිර යන වකුගඩු රෝගයට පිළියමක් ලෙස මෙම ජල යෝජනා ක්‍රමය ආරම්භ කෙරුණු අතර එමගින් ප්‍රදේශයේ ජනතාවට නැනෝ තාක්ෂණ මගින් පෙරන ලද ජලය නොමිලේ ලබා දෙනු ලබයි.  

එහි දී වැඩි දුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා -

ගෙවීගිය වසර දහයක කාලය තුළ සංවර්ධනයේ මුලාවට ජනතාව රැවටුණා. පොරොන්දුවලට රැවටුණා. පසුගිය දා පැවැති පළාත් පාලන ඡන්දයෙදිත් එහෙමයි. අද අපට දකින්න පුළුවන් ප්‍රාදේශීය සභාවලට පත් කරපු අය විවිධ චෝදනාවලට දවසින් දවස හිරේ යන හැටි. එදා ජනතාව පොරොන්දුවලට අත්පොලසන් දුන්නා. එදා පාරවල් හැදුව. හම්බන්තොට පාරවල් හැදුව. අද ගිහින් බලපුවා ම යන්නෙ බස් හතරයි පහයි ඒ පාරවල්වල. ඒකෙන් සැබෑ සංවර්ධනයක් වුණේ නෑ. ඒ නිසා ජනතාව අත්පොලසන් දිය යුත්තේ පොරොන්දු දෙන වෙලාවට නෙවෙයි ඒවා ඉටු කළ වෙලාවටයි. එදා ගමේ වැව් ටික විනාශ වෙලා ගියා. මොකද වැව් හැදුවට කොමිස් හම්බ වෙන්නෙ නෑ. අද මේ රටේ සැබෑ සංවර්ධනය ආරම්භ වෙලා තියෙනවා. අද මේ ඔබට ලැබෙන්නෙත් ඒ සංවර්ධනයේ ප්‍රතිඵලයක්.

මේ වගේ ගම් දියුණු කරන්න ආණ්ඩුව යටතේ වැඩසටහන් රැසක් ක්‍රියාත්මකයි. ග්‍රාම ශක්ති වැඩසටහන් එක පැත්තකින් ක්‍රියාත්මක වෙන අතරෙ ගම්පෙරළිය කඩිනම් ග්‍රාමීය සංවර්ධන වැඩසටහන අනිත් පැත්තෙන් ක්‍රියාත්මක වෙනවා. 2019 වෙද්දි අපි ගම්වල තියෙන වැව් 2100ක් ප්‍රතිසංස්කරණය කරනවා. පාරවල් හදනවා. සෙවිල් නැති ගෙවල්වලට ස්ථිර සෙවිලි ලබා දෙනවා. මේ යටතේ 2019 වෙද්දි ශ්‍රී ලංකාවේ විදුලිය නොමැති කිසිදු නිවසක්, ස්ථිර වහලයක් නොමැති කිසිදු නිවසක් නැති වෙනවා. ඒ වගේම අපේ එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන ක්‍රියාත්මක වෙනවා. ඒ යටතේ බැංකුව සාමාන්‍ය ජනතාවට ණය දෙන ආයතනයක් බවට පත් කරනවා. අපි දන්නවා ක්ෂුද්‍ර මූල්‍ය සමාගම්වල ගිනි පොලියට ණයට අරගෙන නියගය නිසා ඒ ණය ගෙවා ගන්න බැරුව ඔවුන්ගේ විවිධ තාඩන පීඩනවලට ලක් වෙන්න විතරක් සිය ජීවිතයෙන් වන්දි ගෙවන්නට පවා ඇතැම් කාන්තාවන්ට සිදු වෙලා තියෙනවා. ඔබේ මේ දිස්ත්‍රික්කය ඇතුළු දිස්ත්‍රික්ක 13ක කාන්තාවන් එවැනි ගිනි පොලීකාරයන්ගෙන් ලබාගත් රුපියල් ලක්ෂයට අඩු ණය සහ පොලිය කපා හැරීම අද සිට ක්‍රියාත්මකයි.

අපට චෝදනා කරනවා අපි රාජ්‍ය සම්පත් විකුණනව කියල. අපි කිසි දෙයක් විකුණල නෑ. වැඩක් ගන්න බැරුව තිබුණ හම්බන්තොට වරාය චීන සමාගමක් එක්ක එකතු වෙලා දියුණු කරනවා. ඒ වගේමයි මත්තල ගුවන්තොටුපොළ ඉන්දියානු සමාගමක් එක්ක එකතු වෙලා දියුණු කරන්න අපි කටයුතු කරනවා. මේක අද ලෝකයේ ඉතා සුලබව සිදු වන දෙයක්. ඒ අනුව ශ්‍රී ලංකාව ඉතා දියුණු සංවර්ධනයක් කරා 2025දි ළගා කරවන්න අපි සූදානම්. සුදු වෑන් නැති, මැරයන් නැති, ඒකාධිපතියන් නැති ශ්‍රී ලංකාව 2025 දී ඉන්දියන් සාගරයේ ප්‍රධාන වාණිජ කේන්ද්‍රස්ථානය බවට පත් කිරීම අපේ අපේක්ෂාවයැයි ද අමාත්‍යවරයා පැවැසීය.

අමාත්‍යවරයා ඉන් පසු ගියේ මිලියන 7.5ක වියදමෙන් මඩුදමන ප්‍රාථමික විදුහලේ ඉදි කළ නව පංති කාමර ගොඩනැගිල්ල විවෘත කිරීමටයි. ගුවන් හමුදාවේ සහය ඇතිව ඉදි කළ මෙම ගොඩනැගිල්ල තුළ පංති කාමර 4ක් පවත්වාගෙන යාම සඳහා පහසුකම් පවතී. එහි දී දරුවන් කළ ඉල්ලීමකට කන් දෙමින් මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විදුහලට විශාල අඩුපාඩුවක් ව පවතින දේශන ශාලාවක් ලබා දීම සඳහා ලබන ජනවාරි මස දී මුදල් වෙන් කරන බව ද පැවැසීය.
අනතුරුව අත්තනකඩවල මහ විදුහලේ නව විදුහල්පති නිල නිවාසය විවෘත කිරීමේ අවස්ථාවට ද එක් විය. රුපියල් මිලියන 12.4ක වියදමින් මෙම ගොඩනැගිල්ල ඉදි කර දී තිබේ.

මෙම අවස්ථාවන්ට උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය මොහාන් ලාල් ග්‍රේරෝ සහ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංගද එක්ව සිටියහ.

{gallery}grama-ms{/gallery}

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න