Language Switcher

V2025

පාදෙණිය "දේශද්‍රෝහී මාධ්‍යවේදීන්" ලෙස ලැයිස්තුවක් හදලා !

අගෝස්තු 3 දා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පැවැත්වූ සංකේත වැඩවර්ජනය පිලිබඳ විශේෂාංග ලිපියක් සකස්කිරීමේදී ඊට අදාලව වෛද්‍ය නිලධාරීන්ගේ පාර්ශවයෙන් අදහස් ලබාගැනීමට කටයුතු කළ ‘Sunday Observer’ පුවත්පතේ මාධ්‍යවේදියාට සංගමයෙහි සභාපතිවරයාගෙන් එල්ලවූ බවට වාර්තා වන තර්ජනාත්මක ප්‍රතිචාරය ප්‍රජාතන්ත්‍ර විරෝධී  බවත් එය තරයේ හෙළාදකින බවත් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය සඳහන් කරයි.

නිවේදනයක් නිකුත් කරමින් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය මේ බව සඳහන් කරන අතර  විශේෂයෙන් ‘Sunday Observer’ පුවත්පත වාර්තා කරන පරිදි වෛද්‍ය පාදෙණිය මහතා ද්‍රෝහී ජනමාධ්‍යවේදීන්ගේ ලැයිස්තුවක් සකස් කොට ඇතිබවට කර ඇති ප්‍රකාශය අවධානයට ලක්විය යුත්තක් බවද එහි සඳහන් කර ඇත.

නිදහස් මාධ්‍ය ව්‍යාපාරය නිකුත්කළ සම්පුර්ණ නිවේදනය පහත දැක්වේ.වෛද්‍ය සංගමය ජනමාධ්‍යට දැක්වූ ප්‍රතිචාරය ප්‍රජාතන්ත්‍ර විරෝධියි! – නිදහස් මාධ්‍ය ව්‍යාපාරය

පසුගිය අගෝස්තු 3 දා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පැවැත්වූ සංකේත වැඩවර්ජනය පිලිබඳ විශේෂාංග ලිපියක් සකස්කිරීමේදී ඊට අදාලව වෛද්‍ය නිලධාරීන්ගේ පාර්ශවයෙන් අදහස් ලබාගැනීමට කටයුතු කළ ‘Sunday Observer’ පුවත්පතේ මාධ්‍යවේදියාට සංගමයෙහි සභාපතිවරයාගෙන් එල්ලවූ බවට වාර්තා වන තර්ජනාත්මක ප්‍රතිචාරය ප්‍රජාතන්ත්‍ර විරෝධී ලෙස සලකන නිදහස් මාධ්‍ය ව්‍යාපාරය එය හෙළා දකී.

ලැබී ඇති තොරතුරු අනුව, මෙම මාධ්‍යවේදියා වෛද්‍ය සංගමයෙහි සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා අමතා ඇත්තේ තම වෘත්තීය වගකීමට අනුව අදාල වාර්තාකරණය සඳහා වෛද්‍ය සංගමයේ අදහස් ලබාගැනීමටය.

එම උත්සාහයෙදි වෛද්‍ය සංගමයට .තම මතය අනුව ප්‍රතිචාර දැක්වීමට අයිතිය තිබුනද තර්ජනාත්මකව ප්‍රතිචාර දැක්වීම , වගකිවයුතු වෘත්තිකයන්ගේ සංවිධානයක නායකත්වයෙන් අපේක්ෂා කළ නොහැකි තත්ත්වයකි. ප්‍රජාතන්ත්‍රවාදී ලෙස තම වෘත්තීමය අයිතීන් වෙනුවෙන් අරගල කිරීමට වෙනත් ඕනෑම වෘත්තීය සංවිධානයකට මෙන්ම වෛද්‍ය සංගමයට ද අයිතියක් ඇති අතරම ඒ හා සමාන අයිතියක් වන මාධ්‍ය නිදහස වැනි ප්‍රජාතාන්ත්‍රික අයිතීන්ට ඔවුන් සංවේදී නොවීම කණගාටුදායක තත්ත්වයකි.

විශේෂයෙන් ‘Sunday Observer’ පුවත්පත වාර්තා කරන පරිදි වෛද්‍ය පාදෙණිය මහතා ද්‍රෝහී ජනමාධ්‍යවේදීන්ගේ ලැයිස්තුවක් සකස් කොට ඇතිබවට කර ඇති ප්‍රකාශය අවධානයට ලක්විය යුත්තකි.  ආචාරධාර්මික මිනුම් දඬු අනුව ජනමාධ්‍යවේදීන්ගේ භාවිතය මැන බැලිය හැකි වුවත් කිසියම් මාධ්‍යවේදියෙක් ද්‍රෝහීන් ලෙස හංවඩු ගැසීම අප සලකන්නේ මර්දනීය ප්‍රයත්නයක් ලෙසයි. පසුගිය වකවානුවේද එවැනි ද්‍රෝහි  ලැයිස්තු පෙන්වමින් මාධ්‍යවේදීන් දැඩි පීඩනයකට ලක් කළ අතර ඔවුන්ට ප්‍රහාර එල්ල කිරීම සහ ඔවුන් ඝාතනය කිරීම එමඟින් සාධාරණීකරණය කිරීමට උත්සාහ කරනු ලැබිණ. මෙම ප්‍රයත්නය පිටුපස තිබෙන ජනමාධ්‍යවේදීන් බියගැන්වීමේ උත්සාහය සම්බන්ධයෙන් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය දැඩි අප්‍රදසාදය පළ කරයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට අප අවධාරණය කර සිටින්නේ, ඔබට රිසි මතයක් දැරීමේ, ප්‍රකාශ කිරීමේ හා ඒවෙනුවෙන් අරගල කිරීමේ අයිතියක් ඇති අතරම, ජනමාධ්‍ය ඇතුළු සෙසු පුරවැසියන්ටද එම අයිතිය සමානව ඇතිබව පිළිගනිමින් මෙරට ප්‍රජාතන්ත්‍රවාදී භාවිතයන් තුළ පිහිටා කටයුතු කරන ලෙසයී.

සි.දොඩාවත්ත කැඳවුම්කරු                                                                                 

දිලිෂා අබේසුන්දරලේකම්