ලබන ජනවාරියේ හදිසි ජනාධිපතිවරණයක් කැඳවීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ දේශපාලන නායකයන් අතර රහසිගත කතාබහක් ඇතිවී තිබෙන බව 'දේශය' පුවත්පත වාර්තා කර ඇත.
කල්තබා ජනාධිපතිවරණයක් කැඳවීමෙන් රජය වඩාත් වාසිසහගත ප්‍රතිඵලයක් ලබාගත හැකි බවට දේශපාලන හා ජ්‍යොතිෂ අංශවලින් ලැබුණ උපදෙස් මත මෙම තීන්දුව ක්‍රියාත්මක කිරීමට බොහෝදුරට ඉඩ ඇතැයි මේ ගැන 'දේශයට'අදහස් දක්වා ඇති පක්ෂ නායකයෝ ගණනාවක්ම සඳහන් කර තිබේ.
වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 31 වැනි වගන්තිය හා ඊට අදාළ අනු වගන්ති මගින් ජනාධිපතිවරයකු සිය ධුරයට පත්ව වසර 4ක් ඉකුත්වීමෙන් පසු ඕනෑම මොහොතක නැවත ජනාධිපතිවරණයක් කැඳවීමට බලය පවරා ඇත.
එසේ වසර 4ක් ඇවෑමෙන් ජනාධිපතිවරණය කැඳවිය හැක්කේ ධුරය දරන ජනාධිපතිවරයා නැවත වරක් එම තනතුර සඳහා තරග කරන්නේ නම් පමණි.
එම ව්‍යවස්ථානුකූල තත්ත්වය යටතේ හදිසි ජනාධිපතිවරණයක් කැඳවීමට ඉඩ ඇති බවත් ඊට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරිපත් වනු ඇති බවත් එ.ජ.නි.ස. ඉහළ පෙළේ ආරංචි මාර්ග කියයි. 
මේ හැර ඉදිරි ජනාධිපතිවරණය සඳහා එ.ජා.පයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණින් ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන් ඉදිරිපත් කෙරෙනු ඇතැයි කියැවේ.
මේ හැර ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් විය හැකි සෙසු අපේක්ෂකයන් ලෙස දේශපාලන ක්ෂේත්‍රයේ ආරංචි පැතිර යන්නේ කතානායක කරු ජයසුරිය හා අමාත්‍යවරුන් වන චම්පික රණවක, රාජිත සේනාරත්න යන මහත්වරුය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් නොවන්නේ නම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා එ.ජා.ප.යෙන් ඉදිරිපත් කෙරෙනු ඇතැයි පැවසේ.
පොදු අපේක්ෂකයා ?
'දේශය' පුවත්පත සමඟ සාකච්ඡාවකට එක්වෙමින් සෞඛ්‍ය හා පෝෂණ අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කර ඇත්තේ, ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂකයකු ලෙස ඉදිරිපත්වන්නැයි තමන්ට ආරාධනා කළහොත් තමන් එම අභියෝගය භාරගන්නට සූදානම් බවයි.
කෙසේ වෙතත් මෙවර එ.ජා.ප.ය පොදු අපේක්ෂකයකුට සහය නොදෙන බව එහි ජ්‍යෙෂ්ඨයන් ගණනාවක්ම දැනටමත් ප්‍රකාශකර ඇත.
මෙම අපේක්ෂකයන්ට අමතරව ඉදිරි ජනාධිපතිවරණය සඳහා තිස්ස අත්තනායක, නීතිඥ දිලිත් ජයවීර, නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු, රොහාන් පල්ලෙවත්ත, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මාලින්ද සෙනවිරත්න ආදී ස්වාධීන අපේක්ෂකයන් ගණනාවක් ගැනද දේශපාලන ක්ෂේත්‍රයේ කතා බහට ලක්වෙමින් තිබේ.

