වතුකරයේ ළමුන්ගේ වර්ධනය හීන කරන පටිපනු රෝගයක් !

වතුකරයේ ළමුන්ගේ වර්ධනය හීන කරන පටිපනු රෝගයක් !

කඳුකරයේ වතු ආශ්‍රිත දරුවන් අතර පටිපණු රෝගයක් සීඝ්‍රයෙන් ව්‍යාප්තවී යමින් පවතින බව පේරාදෙණිය විශ්ව විද්‍යාලය විසින් අනාවරණය කර ගෙන තිබේ.

වයස අවුරුදු 12 දක්වා දරුවන් අතරින් සියයට තිහකට මෙම රෝගය වැළදී ඇතැයි පේරාදෙණිය වෛද්‍යපීඨයේ පරපෝෂී විද්‍යා දෙපාර්තමෙන්තුවේ අංශ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සුසුජි වික්‍රමසිංහ පවසයි.

ඇස්කාරීස් ලැම්බ්‍රිකෝයිඩේස් (Ascaris Lumbricoides) නම් පටිපණු රෝගය වතුකරයේ දරුවන්ට වැළදී ඇති අතර රෝගය වළක්වා ගැනීම සදහා කඩිනම් පියවර ගත යුතුව ඇතැයි ඔහු පෙන්වා දෙයි.

Up Country 2

ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සුසුජි වික්‍රමසිංහ

නාගරික ප්‍රදේශවල මෙම රෝග ව්‍යාප්ති අගය 1%ක් වැනි අවම අගයක පවතින නමුත් මහනුවර හා ඒ අවට වතු ඇසුරින් කළ පර්යේෂණයකදී වතුකරයේ දරුවන්ට 30%ක් වැනි අගයක මෙම රෝගය වැළදී ඇති බව අනාවරණය වී ඇත.

වතුකරයේ නිසි සනීපාරක්ෂක පහසුකම් නොමැතිවීම මත රෝගය සීඝ්‍රයෙන් පැතිර යන බවත් එකම වැසිකිළිය පවුල් කිහිපයක් භාවිතා කිරීම, කුඩා ළමුන් එළිමහනේ මළ පහ කිරීම හා එහි බැක්ටීරියා ආහාරවලට මිශ්‍රවීම මගින් රෝගය පැතිර යන බවත් මෙම කරුණු පේරාදෙණිය විශ්ව විද්‍යාලය මගින් සංවිධානය කරන ලද ඝර්ම කළාපීය රෝග සම්බන්ධ අන්තර් ජාතික සමුඵවේදි විශේෂ සාකච්ඡාවකට බඳුන් කළ බවද ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සුසුජි වික්‍රමසිංහ ප්‍රකාශ කරයි.

මෙම රෝගය වැළඳීම මගින් ළමුන්ගේ වර්ධනයේ හීන වීමක් ඇති වන අතර නිසි පරිදි ඖෂධ ගැනිමෙන් මෙම රෝගය ඉතා පහසුවෙන් වලක්වා ගත හැකි බව ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සුසුජි වික්‍රමසිංහ වැඩි දුරටත් පෙන්වා දෙයි.

ආසාදිත අයකුගේ මළපහ සමඟ පිටවන පණු බිත්තර ජලය සහ කෑම සමග මිශ්‍රව තවත් අයෙකුගේ ශරීරය තුළට ඇතුළු වීමෙන් මෙම රෝගය ව්‍යාප්ත වන පෙන්වා දෙන ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සුසුජි වික්‍රමසිංහ අවධාරණය කරන්නේ වතු නිවාස ආශ්‍රිත සනීපාරක්ෂිත කටයුතු තව දුරටත් සංවර්ධනය කළ යුතු බවයි.

මෙම රෝගය වලක්වා ගැනීම සඳහා සෞඛ්‍ය අංශ මගින් නිසි ප්‍රතිකාරයන් අඛන්ඩව ක්‍රියාත්මක කළ යුතුව තිබෙන බවද හෙතෙම වැඩි දුරටත් අවධාරණය කරයි.

(radiogagana - නදීක දයා බණ්ඩාර)

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න