අතුරුදහන් කළ තරුණයින් එල්ටීටීඊ බව කියූ දසනායකගේ දුවට මවකගෙන් පිළිතුරු (Video)

අතුරුදහන් කළ තරුණයින් එල්ටීටීඊ බව කියූ දසනායකගේ දුවට මවකගෙන් පිළිතුරු (Video)

නාවික හමුදාවේ පිරිසක් විසින් කප්පම් ලබාගැනීම සඳහා පැහැරගෙන පසුව අතුරුදහන් කර තිබෙන තරුණයින් 11 දෙනා එල්ටීටීඊ ක්‍රියාකාරකම්වලට සම්බන්ධ බවට මේ වන විට බන්ධනාගාරගතකර සිටින හිටපු කොමදෝරු ඩී.කේ.පී. දසනායකගේ දියණිය වන මංජරී දසනායක කරන ප්‍රකාශය තරයේ හෙළාදකින බව පැහැරගැනීමට ලක්වූ තරුණයෙකුගේ මවක වන ජෙනිෆා වීරසිංහ සඳහන් කරයි.

මංජරී මොනවද දන්නේ

එසේම කේ.පී.ඩී. දසනායකගේ දියණිය මෙවැනි ප්‍රකාශයක් කරන්නේ අදාළ පැහැර ගැනීමට සැකපිට ඇගේ පියා අත්අඩංගුවේ සිටින නිසා බවත් ඒ හැර මේ සම්බන්ධව කිසිම දැනුවත් භාවයක් මංජරී හට නොමැති බවද වීරසිංහ මහත්මිය සඳහන් කර සිටියි.

මං අහන්නේ, කෝ මගේ දරුවා ?

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් වීරසිංහ මහත්මිය මෙසේද පැවසුවාය.

“ඇයට කිසිම අයිතියක් නෑ මගේ දරුව LTTE එකට සම්බන්ධයි කියලා ප්‍රකාශයක් කරන්න. මොකද උසාවියේ B වාර්තාවල පැහැදිළිවම සඳහන් කරල තියෙනව මේ 11 දෙනාට LTTE සම්බන්ධයක් නෑ කියලා. ඒ වගේම නාවික හමුදාවෙන් මේ 11 දෙනා අත්අඩංගුවට ගත්තා කියල පිළි අරන් තියෙනවා. ඒ ගැන නාවික හමුදාවෙන්ම සාක්ෂි ලැබි තියෙනවා මෙයාලා LTTE එකට සම්බන්ධ නෑ කියලා.“හරි මගේ දරුවා LTTE එකට සම්බන්ධයි කියමුකො, එහෙම නම් එයාව හිරේ දාන්න තිබුන. මම අහන්නේ කෝ මගේ දරුවා..?”

දසනායක සැකපිට හිරේ

තරුණයන් එකොළොස් දෙනෙකු පැහැර ගෙන ගොස් නීති විරෝධී ලෙස රඳවා තබා ගෙන පසුව අතුරුදහන් කර වීම සම්බන්ධයෙන් සිදු කරනු ලබන පරීක්ෂණවලට අදාළව කේ.පී.ඩී. දසනායක අත්අඩංගුවට ගනු ලබන්නේ පසුගිය ජූලි (12) මසයේදී වන අතර ඔහු මේ වන විට බන්ධනාගාර ගතකර ඇත.

එම තරුණයින් එල්ටීටීඊ ක්‍රියාකාරකම් වලට සම්බන්ධ බවට මංජරී දිසානායක ප්‍රකාශ කර සිටින්නේ අත්නෝමතිකව රඳවා ගැනීම් පිලිබද එක්සත් ජාතීන්ගේ ක්‍රියාකාරී කණ්ඩායම විසින් කොළඹ දී පැවත්වූ විශේෂ මාධ්‍ය හමුව අවසානයේ තම පියා සම්බන්ධ ලිපියක් එම නියෝජිත කණ්ඩායමට ඉදිරිපත් කිරීමට පැමිණි අවස්ථාවේ ය.

එහෙත් එම අවස්ථාවේ අදාළ නියෝජිතයන් එම ලිපිය ගැනීම ප්‍රතික්ෂේප කළ අතර එහිදී ඔවුන් පෙන්වා දුන්නේ එම ලිපිය තම විෂය පථයට අයත් නොවන බවය.

විදේශීය නියෝජිතයන්ටත් චෝදනා

එහිදී මාධ්‍ය ඇමතු මංජරී දසනායක ඝාතනයවූ තරුණයන් එල්ටීටීඊ ක්‍රියාකාරකම් වලට සම්බන්ධ බව මෙන්ම අදාළ නියෝජිත පිරිසද තම පියාට සිදුව ඇති අසාධාරණය සම්බන්ධව කටයුතු නොකර එල්ටීටීඊ ක්‍රියාකාරීන් පිළිබඳ පමණක් සොයාබලන බවටද චෝදනා නැගුවාය. එසේම ත්‍රස්ත කටයුතු වලට එරෙහිව ක්‍රියා කිරීම මත තම පියාව මේ වන විට අත්තනෝමතිකව සිරභාරයේ තබාගෙන සිටින බවද ඇය මාධ්‍ය වෙත ප්‍රකාශකර සිටියාය.

නමුත් එම අවස්ථාවේදින් විසින් ඇගේ එම ප්‍රකාශ සම්බන්ධව පෙරළා ප්‍රශ්න අසන්නට සුදානම් වූ අවස්ථාවේ දී ඇය ඊට පිළිතුරු නොදී එම ස්ථානයෙන් පිටවගොස් ඇත.

 පොලිස් මාධ්‍ය ප්‍රකාශකගේ ප්‍රකාශය

කෙසේ වුවත් මෙම තරුණයින් 11 දෙනා අතුරුදහන් කිරීම සම්බන්ධව මීට පෙර පොලිස් ප්‍රකාශක, පොලිස් අධිකාරි රුවන් ගුණසේකර පවසා සිටියේ ඔවුන් පැහැර ගෙන ගොස් අතුරුදහන්කරවා ඇත්තේ 'බලහත්කාරයෙන් මුදල් ලබා ගැනීම සඳහා' බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කරන ලද විමර්ශනවලින් තහවුරු වී ඇති බවය.

පැහැරගත් පසුව දුරකථන ඇමතුම් පවා දීලා

එසේම පැහැර ගැනීමට ලක් වූ තරුණයන් රඳවා ගෙන සිටි කාලය අතරතුර ඔවුන්ගේ ඥාතීන්ට දුරකතන ඇමතුම් ගෙන ඇති බවත් පුද්ගලයින්ගේ සාක්ෂි, නාවික හමුදා නිලධාරීන්ගේ සාක්ෂි සහවිද්‍යාත්මක සාක්ෂි ඔස්සේ ඔවුන් රඳවා තබා ගත් ස්ථාන පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තහවුරු කර ගනු ලැබ ඇති

බවත් පොලිස් ප්‍රකාශකවරයා සඳහන් කළේය.

එසේම ඒ තරුණයන් කිසිඳු ආකාරයක ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් සඳහා සම්බන්ධ නොමැති බවද ඔහු එහිඳි සඳහන් කර සිටියේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න