මිල අධික ඖෂධ 10 ක් ඇතුලු ඖෂධ සහ වෛද්‍ය උපකරණ 25 ක මිල අද  සිට අඩු කරයි!

මිල අධික ඖෂධ 10 ක් ඇතුලු ඖෂධ සහ වෛද්‍ය උපකරණ 25 ක මිල අද  සිට අඩු කරයි!

ඉතා මිල අධික පිළිකා ඖෂධ 10 ක්, තෝරා ගත් ඖෂධ නිෂ්පාදන 13 ක සහ වෛද්‍ය උපකරණ 02 ක මිල නියාමනය සැප්තැම්බර් 01 වන දා සිට ක්‍රියාත්මක බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න  පවසයි.

පේරාදෙනිය විශ්වවිද්‍යාල භූමියේ ඉදිකළ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ 39 වන ඔසුසල විවෘත කිරීමේ අවස්ථාවට අද (01) පෙරවරුවේ එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

වාර්තා වන ආකාරයට ඉතා මිල අධික පිළිකා ඖෂධ 10 ක ටෙන්ඩර් මිල පාලනයකට ලක්කර තිබේ. තෝරා ගත් ඖෂධ වර්ග 13 ක උපරිම සිල්ලර මිල නියාමනය කර ඇති අතර දියවැඩියා රෝගීන් භාවිත කරන රුධිර ග්ලුකෝස්මාපක සහ රුධිර ග්ලුකෝස් මාපකවල භාවිත කරන පරීක්ෂණ තීරු යන වෛද්‍ය උපකරණවල උපරිම සිල්ලර මිල මෙලෙස නියාමනය කර ඇත. තෝරා ගත් ඖෂධ වර්ග 13 තුල ජිවිතාරක්ෂක ප්‍රතිජීවක, ස්නායුගත රෝග ඖෂධ, ඉන්සියුලින් ඇතුලු දියවැඩියා ඖෂධ, ඇදුම රෝගය සදහා භාවිත කරන ඖෂධ, ස්නායු රෝග ඖෂධ,, අපස්මාර රෝග ඖෂධ සහ කොලෙස්ටරෝල් පාලනය කිරීමේ ඖෂධ සදහා භාවිතා කරන ඖෂධ ඇත.

මෙම මිල නියාමනයට අදාල ගැසට් පත්‍රය ඊයේ (31) මධ්‍යම රාත්‍රීයේ නිකුත් කර තිබේ. ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් මෙම මිල නියාමන ගැසට් පත්‍රය සකස් කර ඇත. මිල නියාමන ගැසට් පත්‍රයට සෞඛ්‍ය,පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී ඊයේ (31) පෙරවරුවේ අත්සන් කරන ලදි.මෙම අවස්ථාවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති මහචාර්ය අසිත ද සිල්වා  සහ එහි ප්‍රධාන විධායක නිලධාරී විශේෂඥ වෛද්‍ය කමල් ජයසිංහ එක්ව සිටියහ.ඖෂධ මිල නියාමනය කිරීම පිළිබදව අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යවරයා ,

 “පිළිකා ඖෂධවලින් සියයට 95 ක් මිල දී ගනු ලබන්නේ රජයයි. පෞද්ගලික අංශය සියයට 5 ක් පමණ අලෙවි කරයි. පිළිකා ඖෂධ මිල අධිකයි. එම නිසා පිළිකා ඖෂධ මිල දී ගැනීමේ හැකියාවක් රෝගීන්ට නැහැ. ඖෂධ ආනයනය කිරිම සදහා වසරකට රජය රුපියල් බිලියන 07 කට අධික මුදලක් වැය කරනවා. පිළිකා ඖෂධ මිල අඩු කිරිම තුලින් රජයට ඉතිරිවන මුදල රුපියල් බිලියන 02 ක්. ටැබ්සුමාබ් නැමැති පිළිකා ඖෂධය යහපාලන රජය බලයට පත්වන විට අලෙවි වුයේ රුපියල් දෙලක්ෂ අසූදාහසකටයි. එය අද වන විට රුපියල් එක්ලක්ෂ හතලිස් හතරදහස දක්වා අඩු වී තිබෙනවා.

නමුත් අද දින නිකුත් කළ ගැසට් නිවේදනයට අනුව ටැබ්සුමාබ් ඖෂධය රුපියල් 95000 දක්වා අඩු වෙනවා. යහපාලන රජය බලයට පත්වන තුරු සෞඛ්‍ය අමාත්‍යාංශය නිදහස් සෞඛ්‍ය සේවාව කියා මුදල් ගෙවා ඇත්තේ ඖෂධ සමාගම් වලටයි. 

2016 ඔක්තෝබර් මස 21 දින අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 48 ක මිල නියාමනය කර තිබෙනවා. එමගින් විවිධ වෙළෙද නාමයෙන් යුත් ඖෂධ වර්ග 400ක පමණ මිල නියාමනය වුනා. අද දින සිදු කළ මිල නියාමනයත් සමග ඖෂධ සහ වෛද්‍ය උපකරණ 74 ක මිල නියාමනය කර තිබෙනවා. ඒ අනුව විවිධ වෙළෙද නාම වලින් යුත් ඖෂධ වර්ග 1000 කට ආසන්න සංඛ්‍යාවක මිල නියාමනය වී තිබෙනවා. දුප්පත් ජනතාව වෙනුවෙන් තමයි මෙම තින්දු තීරණ ගනු ලබන්නේ. අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 48 ක මිල නියාමනය කිරීමේ දී ප්‍රතිජීවක, වේදනා නාශක, දියවැඩියාව, අධිරුධිර පීඩනය, හෘද රෝග සදහා භාවිත කරන ඖෂධවල මිල නියාමනය කෙරුනා. අද වන විට රෝගීන් වෛද්‍යවරුන් විසින් නියම කරනු ලබන ඖෂධ සියල්ල මිල දී ගැනීම නිසා සමස්ත ඖෂධ භාවිතය ද වැඩි වී තිබෙනවා. මෙම මිල නියාමනය තුලින් ඖෂධ මිල දී ගැනීමෙන් රෝගීන් වෙත ලැබුනු සමස්ත ඉතිරිය ආසන්න වශයෙන් රුපියල් බිලියන 4.4 ක් වනවා.”

රාජ්‍ය ඔසුසල විවෘත කිරීමේ අවස්ථාවට රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ නීතිඥ සරත් ලියනගේ, පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය උපුල් දිසානායක ඇතුලු සරසවි ආචාර්ය මණ්ඩලය, රෝහල් අධ්‍යක්ෂවරු ඇතුලු විශාල පිරිසක් එක්ව සිටියහ.අද දින සිදු කරන ලද මිල නියාමනයට අදාල ගැසට් පත්‍රය පහත පළවේ.ඇමුණුම් අංක 01 - පිළිකා ඖෂධ 10 අඩු කිරිම, 2017 වසරේ දී භාවිත කළ ප්‍රමාණය, 2017 වසරේ දී එක් එක් පිළිකා ඖෂධ ටෙන්ඩර් කිරීමේ දී ඉදිරිපත් කළ මිල ගණන්, පිළිකා ඖෂධ සදහා 2017 වසරේ දී වැය කළ මුදල, නව පිළිකා ඖෂධ ටෙන්ඩර් මිල ගණන්, 2018 වසරේ පිළිකා ඖෂධ මිල අඩු කිරීම නිසා වැය වන මුදල මෙම ඇමුණුමේ ඇතුලත් වෙයි.ඇමුණුම් අංක 02 - තෝරා ගත් ඖෂධ 13 සහ වෛද්‍ය උපකරණ 02 මෙතෙක් පැවැති මිල, අඩු කළ මිල, මිල අඩු කිරීමේ ප්‍රතිශතය, මෙම ඇමුණුමේ ඇතුලත් වෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න