රාජ්‍ය මූල්‍ය අවභාවිතා කරමින් ඩී. ඒ රාජපක්ෂ කෞතුකාගාරය හා ස්මාරකය ඉදි කිරීම සම්බන්ධව චෝදනා ලබා සිටින ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු 7 දෙනකුට අද (10) විශේෂ මහාධිකරණය විසින් අධි චෝදනාපත්‍ර ගොනු කර තිබේ.
එසේම ඔවුන් රුපියල් ලක්ෂය බැගින් මුදල් ඇප හා ලක්ෂ 10 ක් බැගින් ශරීර ඇප මත මුදා හැරීමට ද අධිකරණය නියෝග කළේය.
තවද ඔවුන්ගේ විදෙස් ගමන් තහනම් කිරිමට අධිකරණය නියෝග කළ අතර සම්පත් අබේකෝන්, සම්පත් විජේරත්න, චම්පා ජානකී රාජරත්න යන විශේෂ මහාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මණ්ඩලය විසින් මෙම නියෝගය නිකුත් කර ඇත.
යළි නඩුව ඔක්තෝබර් 9 වැනි දා කැඳවිමට නියමිතය.
එසේම මෙම නඩුව කැඳවූ අවස්ථාවේ දී රජයේ නියෝජනය කරමින් මුලින්ම කිසිදු නීතිඥවරයකු පෙනී සිට නොමැති බවත් එම අවස්ථාවේ ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින් රජය වෙනුවෙන් නීතිඥවරුන් පෙනී නොසිටින්නේ නම් විත්තිකරුවන් නිදහස් කරන මෙන් ඉල්ලා සිටි බවත් වාර්තා වෙයි.
එහිදී මෙය අපරාධ නඩු කටයුත්තක් බැවින් එවැනි නියෝග කිරීමට හැකියාවක් නොමැති බවසභාපති විනිසුරු සම්පත් අබේකෝන් සඳහන් කර ඇත.
ඉන් අනතුරුව රජය වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් මහතා ඇතුළු නීතිඥ මණ්ඩලයක් අධිකරණය හමුවේ පෙනී සිට ඇත.
මෙහිදී ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා ඉල්ලීමක් කරමි ඇප පනතේ 7 වන වගන්තිය ප්‍රකාරව තම සේවාදායකයා ඕනෑම වෙලාවක අධිකරණය හමුවේ පෙනී සිටීමේ කොන්දේසිය මත මුදා හරින මෙන් ඉල්ලා ඇති අතර ඒ අනුව සැකකරුවන් ඇප මත මුදා හැරීම සඳහා නීතිමය වශයෙන් කිසිදු බාධාවක් නොමැති බව සඳහන් කළ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණ විනිසුරු මඩුල්ලේ සභාපති සම්පත් අභයකෝන් විනිසුරුවරයා මෙම විත්තිකරුවන් රජයේ ඉහළ නිලතල දැරූ පුද්ගලයින් බැවින් ඔවුන් ඇප නියෝගවලට ගරු කොට නඩු විභාග සඳහා පෙනී සිටිනු ඇතැයි අධිකරණය අපේක්ෂා කරන බවත් සඳහන් කර තිබේ.