රටපුරා පෝස්ටර් ගසමින් විරුද්ධවාදීන් ජනතාවට 5 වැනිදා කොළඹට එන්නැයි පවසන්නේ ජනතාවට හෙට දවසක් උදා කිරීමට නොව, රජය පෙරළා අධිවේගී මාර්ගයෙන් රජ පුටුවට යාමේ අරමුණින් බව නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස පවසයි.
සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ, සූරියවැව, ඉදිවූ “සඳරැසගම” සහ “සාමහිරුගම” යන උදා ගම්මාන ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාවට අද (03) දින සහභාගී වෙමිණි.
එහිදී යහපාලන රජය අද රට පුරා සිදු කරන උදා ගම්මාන වැඩසටහන විරුද්ධවාදීන් නැවත බලයට පැමිණි පසු සිදු කරාවිදැයි රටේ ජනතාව අවංකව සිතා බැලිය යුතු බව කී අමාත්‍යවරයා, 5 වැනිදා කොළඹට ජනතාව ගෙන්වීමට විරුද්ධවාදීන් බුරියානි හා මත්පැන් මෙහෙයුමක් සිදු කරන විට එදිනට තමන් රට පුරා උදා ගම්මාන 130 ක් ආරම්භ කිරීමේ මෙහෙයුම දියත් කරන බවද සඳහන් කළේය.
තමන් අද සිදු කරන නිවාස සංවර්ධන වැඩසටහනට නොදෙවෙනි දෙයක් සිදු කරන්නැයි හිටපු ජනාධිපතිතුමන්ට තමන් අභියෝග කරන බවත්, එය මත්පැන් ලබා දී සිදු කරන දෙයක් නොව රටේ ජනතාවට ඵලදායී වන දෙයක් විය යුතු බවත් අමාත්‍යවරයා පැවසීය.
පසුගිය රජය විවිධ බලකායන් නිර්මාණය කර දූෂණ වංචා සිදු කළ අතර යහපාලන රජය අද රට පුරා සිදු කරන උදා ගම්මාන වැඩසටහන දැක එය කඩාකප්පල් කිරීම උදෙසා උදා ගම්මානවල පුවරු කඩා දැමීමට විරුද්ධවාදීන් නව බලකායක් නිර්මාණය කර ඇති බවද අමාත්‍යවරයා මෙහිදි වැඩිදුරටත් පැවසීය.
“සැමට සෙවණ” යළි පිබිදෙන උදා ගම්මාන වැඩසටහන යටතේ ජනතා අයිතියට පත් කළ 114 සහ 115 වන ආදර්ශ ගම්මාන දෙක මේ වන අතර ඉන් එක් ගමක් නිවාස 27 කින් සමන්විතය. මෙම ගම්මාන දෙක අංග සම්පූර්ණව ඉදිකිරීම සඳහා වැයකළ මුදල රුපියල් ලක්ෂ 187කි. පිරිසිදු පානීය ජලය, විදුලිය, ප්‍රවේශ මාර්ග හා විධිමත් අභ්‍යන්තර මාර්ග ඇතුළු සියලු යටිතල පහසුකම් වලින් මෙය සමන්විත වේ.
මෙම ගම්මාන ජනතා අයිතියට පත්කිරීමට සමගාමීව නිවාසලාභීන් 27 දෙනාට නිවාස හිමිකම් පත්‍ර සහ රුපියල් ලක්ෂ 108 ක් වටිනා සංවර්ධිත බිම් කොටස් 27 ක හිමිකම් ප්‍රදානය, ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල් 130 කට රුපියල් ලක්ෂ 130 ක් වටිනා ‘විසිරි නිවාස ණය’, ‘ශිල්ප සවිය’ වැඩසටහන යටතේ ප්‍රතිලාභීන් 50 දෙනෙකුට රුපියල් ලක්ෂ 25 ක් වටිනා වෘත්තීය උපකරණ කට්ටල, නිල ඇඳුම්, විෂයානුබද්ධ පොත් කට්ටල, දෘෂ්‍යාබාධ සහිත පුද්ගලයින් 100 දෙනෙකුට ඇස් කණ්නාඩි, නිවාසලාභීන් සඳහා අඹ පැළ හා ගම්මාන දෙකෙහි නිවාස සමිතිය සඳහා පුටු බෙදා දීමද මෙහිදී අමාත්‍යවරයා අතින් මෙහිදී සිදු කෙරුණි. මීට අමතරව වකුගඩු රෝගී සහයනක් සහ දේශීය වෛද්‍ය සායනයක්ද මෙහිදී පැවැත්විණි.