Language Switcher

V2025

මහින්ද කියන්නේ පිස්සෙක්ම නෙවෙයි - අගමැති 

මහින්ද යනු පිස්සෙක් නොවන නමුත් ඔහු ආණ්ඩු පාලනය ගැන නොදන්නා, ආර්ථිකය කළමනාකරණය කර ගැනීමට නොහැකි අයෙකු විය යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි.

අග්‍රාමාත්‍යවරයා මෙසේ පවසා ඇත්තේ පසුගියදා මහනුවර සම්පත් ගොඩනැගිල්ලේ පැවති මහනුවර දිස්ත්‍රික් බල මණ්ඩල රැස්වීමට සහභාගි වෙමින්ය.

එහිදී සභාව ඇමතු අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේද පවසා තිබේ. 

පසුගිය මැයි දිනයේදී තමා ලබාදුන් පොරොන්දුව අනුව මහනුවරට පැමිණ එක්සත් ජාතික පාක්ෂිකයන් අමතන බවත් එක්සත් ජාතික පක්ෂයේ බලකොටුවක් වන මහනුවර  ඉදිරිඅපට පළාත් සභා මැතිවරණයට  මුහුණදීම වෙනුවෙන්  එක්සත් ජාතික පක්ෂය ආරක්ෂා කර ගනිමින් ශක්තිමත්ව ඉදිරියට යා යුතු බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි.

පසුගිය මැයි දින රැලියට සහභාගි වූ සියලූ දෙනාගේ සිත්වල තිබුණේ පළාත් පාලන මැතිවරණයේ දී අප ලද පරාජයයි. එම පරාජයත් සමඟ අපේ පක්ෂයට විශාල පහරක් වැදුණා. එම පරාජයෙන් නැවත ගොඩ ඒමට හැකියාවක් තිබේ ද, දේශපාලනිකව අප ඇද වැටිලා ද, ආදී බලාපොරොත්තු රහිත වූ ස්වභාවයක් බොහෝ අය තුළ තිබුණා. පුවත්පත්, රූපවාහිනී ආදී සියüම මාධ්‍ය ආයතන පවා පැවසුවේ  එක්සත් ජාතික පක්ෂය අවසන් බවයි. අපි ඉදිරියට පැමිණියේ එවන් තත්වයක් තුළයි.

2015 දී අපි ආණ්ඩු බලය ලබා ගත්තේ රටේ ආර්ථිකය ගොඩ නගමින් අපේ ජනතාවට උදව් උපකාර කිරීමටයි. 1977 ජේ. ආර්. ජයවර්ධන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් එක්සත් ජාතික පක්ෂය බලයට පැමිණියා. ඉන් පසු රණසිංහ ප්‍රේමදාස මැතිතුමාගේ සහ ඩී.බී. විජේතුංග මැතිතුමාගේ පාලනයන් යටතේ රට ඉදිරියට ගෙන ගියා. අනතුරුව අග්‍රාමාත්‍යවරයා ලෙස මමත් රට දියුණු කිරීමට කටයුතු කළා. අපනයන කලාප, ඇඟලූම් කර්මාන්ත ඇති කළා. කුඩා තේ වතු හිමියන් බිහි කළා. සංචාරක ව්‍යාපාරය වර්ධනය කළා.  මේ ආකාරයට රට ඉදිරියට ගෙන යාම සඳහා විශාල වැඩ කොටසක් කිරීමට හැකි වුණා.

නමුත් 2001 වසරේ මම නැවත අග්‍රාමාත්‍යවරයා ලෙස රට බාරගන්නා අවස්ථාව වන විට රටේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම කඩා වැටී තිබුණා. එවකට පැවති පාලනය රටේ දියුණුව ගැන නොසිතා යුද්ධය ගැන පමණක් සිතමින් කටයුතු කළා. නමුත් අවසානයේ එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන් පැමිණ ගුවන්තොටුපළ, වරාය ඇතුලූ අපේ ආර්ථික මර්මස්ථානවලට පහර දුන්නා.

දූපත් රටේ හැකියාව තේරුම් ගන්න 

ශ්‍රී ලංකාව වැනි දූපත් රාජ්‍යයකට වරාය හෝ ගුවන්තොටුපල නොමැතිව ක්‍රියාත්මක විය නොහැකියි. එම කාලය තුළ අපේ අපනයන - ආනයන කටයුතු ඇණහිට තිබුණා. මේ හේතුවෙන් සීඝ්‍ර ලෙස ආර්ථිකය කඩා වැටීමට පටන් ගත්තා. එම තත්ත්වය තුළ එවකට පැවැති ආණ්ඩුවට එම අර්බුද සඳහා නිසි පිළියමක් තිබුණේ නැහැ.

ඒ අවස්ථාවේ පැවති මහ මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් බිහි කර ගැනීමට හැකි වුවත් කෙටි කාලයකින් නැවත පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයක් පැවැත්වුවා. එම මැතිවරණයෙන් අප නැවතත් පරාජයට පත්වුණා.

නමුත් මෙවර අපි බලයට පත්වුනේ කුමන අභියෝග හමුවේ වුව ද, අනිවාර්යෙන්ම රට දියුණු කිරීමේ අරමුණ ඇතිවයි. එහිදී රටටත්, එක්සත් ජාතික පාක්ෂිකයන්ටත්, රටේ අනෙකුත් සියලුම ජනතාවටත් ප්‍රතිලාභ ලැබෙන ආකාරයට කටයුතු කරනවා. රට දියුණු කිරීමෙන් පසුව එළඹෙන මැතිවරණයෙන් ද ජයග්‍රහණය ලබාගෙන රට පාලනය කිරීමට එක්සත් ජාතික පක්ෂය කටයුතු කරනවා.

2001 වනවිට විනාශව තිබූ ආර්ථිකය 2003 වන විට ගොඩදැම්මා !

මෙම ගමනේ දී අපහසු කාලයන් තිබෙන්නට පුළුවන්. නමුත් ආණ්ඩු බලය අහිමි කර ගැනීමේ බලාපොරොත්තුවක් අපිට නැහැ.  2001 වසරේ දී අප බලයට පත්වන විට රට සම්පූර්ණයෙන්ම විනාශ වී තිබුණා. එහිදී අපි සටන් විරාම ගිවිසුමක් ඇති කර ගනිමින් එල්.ටී.ටී.ඊ. සංවිධානය සමඟ සාම සාකච්ඡා පැවැත්වූවා. ඒ අනුව වැසී ගොස් තිබුණු වරායත්, ගුවන්තොටුපලත් විවෘත කිරීමට අපිට හැකි වුණා. ක්‍රමක්‍රමයෙන් ආර්ථිකය දියුණු වුණා. එදා, ශ්‍රී ලංකාවේ දියුණුව සඳහා ඩොලර් මිලියන 4000ක මුදලක් ලබාදීමට මිත්‍ර රටවල් පොරොන්දු වී සිටියා. 2002 දී රටේ ආර්ථික දියුණුව ආරම්භ වූ අතර 2003 වන විට ආර්ථිකය සම්පූර්ණයෙන් දියුණු වෙමින් තිබුණා.

එදා අප සාම සාකච්ඡා ආරම්භ කරන විට විපක්ෂයේ කටයුතු කළ අය කියා සිටියේ සාම සාකච්ඡා යනු රට පාවා දීමක් බවයි. එසේම එල්.ටී.ටී.ඊ. නායක ප්‍රභාකරන් කියා සිටියේ, සාම සාකච්ඡා තමන්ව හසු කර ගැනීමට ඇටවූ උගුලක් බවයි. සාම සාකච්ඡාවලට සම්බන්ධ  වීම නිසා නැගෙනහිර බලය තමන්ට අහිමි වූ බවත් ප්‍රභාකරන් පැවසුවා. මේ ආකාරයට රට ක්‍රමක්‍රමයෙන් ගොඩ නගන විට ජනතාව නැවතත් අපව බලයෙන් පහ කළා. නමුත් අප ආරම්භ කර තිබූ සැලසුම්වලින් හෝ ප්‍රයෝජනයක් ගැනීමට පසුව පත්වූ  පාලකයන්ට නොහැකි වුණා.

2015 දී අප රට බාරගන්නා විට 2001 වසරට වඩා අපහසු තත්වයක් නිර්මාණය වෙමින් තිබුණා. ගුවන් තොටුපළත්, වරායත් දෙකම ක්‍රියාත්මක වෙමින් තිබිය දී වුව ද, ලබාගෙන තිබූ ණය ගෙවීමට අවශ්‍ය තරම්වත් ජාතික ආදායම ශක්තිමත් කර ගැනීමට රාජපක්ෂ පාලනයට නොහැකි වුණා.

වසර 4 කින් ජනාධිපතිවරණයක් කැඳවන්න පිස්සුවක් නෑ !

වසර 06 ක කාලයක් ජනාධිපති ධූරය දැරීමට හැකියාව තිබිය දී වසර හතරකින් ජනාධිපතිවරණයක් පවත්වන අයෙක් එක්කෝ පිස්සෙක් විය යුතුයි. නැතිනම් ඔහු ආණ්ඩු පාලනය ගැන නොදන්නා, ආර්ථිකය කළමනාකරණය කර ගැනීමට නොහැකි අයෙකු විය යුතුයි. මහින්ද රාජපක්ෂ මහතා යනු පිස්සෙක් නොවෙයි. නමුත් ආණ්ඩුව කරගෙන යාමට ඔහුට නොහැකි වුණා. අප ආණ්ඩු බලය බාරගන්නා විට එය වස පිරවූ කෝප්පයක් අතට ගන්නවා වැනි කාර්යයක් වුණා.

නමුත් පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපතිවරයා ලෙස පත්කර ගනිමින් අපි ජාතික ආණ්ඩුවක් නිර්මාණය කළා. ඉන් පසුව රටේ ගැටළු විසදීම අපි ආරම්භ කළා. එය ලෙහෙසි කාර්යයක් වුනේ නැහැ. සමහර අවස්ථාවල රටේ වියදම් පාලනය කිරීමට සිදුවුණා. වැට් බදු වැඩි කිරීම ආදී ජනප්‍රිය නොවන තීරණ ගැනීමට පවා සිදුවුනා. නමුත් අවසානයේ රටක් ලෙස ඉදිරියට යාමට අපට හැකිවී තිබෙනවා.

ඉන්ධන මිල වැඩි වීම මෙන්ම, නියඟය, ගංවතුර ආදී ස්වභාවික විපත් වැනි ගැටළුවලට මුහුණ දුන්නත් රටේ දළ දේශීය නිෂ්පාදනය 14% කින් ඉහල දැමීමට අපට හැකි වුණා. මෙම කාලය තුළ ස්වයං රැකියා සහ වෙනත් ස්ථිර රැකියා ලක්ෂ 07ක් ඇති කිරීමට අපිට හැකි වුණා. ඉන් රැකියා ලක්ෂ 04ක් භාරකාර අරමුදල්වල ලියාපදිංචි ඒවා බව පැවසිය යුතුයි. රාජ්‍ය සේවක වැටුප් රුපියල් දස දහසකින් වැඩි කළා. විශ්‍රාම වැටුප් සහ ප්‍රතිලාභ වැඩි කිරීම, පෞද්ගලික අංශයට රුපියල් දස දහසක අවම වැටුප් ප්‍රමාණයක් නියම කිරීම සහ ඔවුන්ගේ රුපියල් දෙදහස් පන්සියයක වැටුප් වැඩිවීමක් යෝජනා කිරීම, සමෘද්ධි දීමනාව 1500 සිට 3000 දක්වා වැඩි කිරීම, ගැබිණි මාතාවන්ට රුපියල් විසි දහසක දීමනාවක් ලබාදීම ආදී වැඩකටයුතු ගණනාවක් සිදුකිරීමට අපට හැකි වුණා.

වසර තුනක් තුළ ආර්ථිකය ස්ථාවර කළා !

රට ඉදිරියට ගෙන යාමට අපහසු බව දැන දැනත් අප ආණ්ඩු බලය ලබා ගත්තේ ජනතාවට සහන ලබාදී රට දියුණු කිරීම සඳහායි. වසර 03 ක් තුළ රටේ ආර්ථිකය ස්ථාවර කිරීමට අප කටයුතු කළා. එම කාලයේ අසීරුම අවධියක දී පළාත් පාලන මැතිවරණය පැවැත්වූවා. නියඟය හේතුවෙන් වගාවන්ට හානි සිදු වූ අතර ඒ නිසා එළවළු සහ පළතුරු අස්වැන්න අඩු වුණා. අස්වැන්න අඩුවීම නිසා ඒවායේ මිල ඉහල ගියා. පොල් මිල ඉහල යාම, පොහොර හිඟය ආදී ගැටළු රාශියක් ද ඒ කාලයේ උද්ගත වුණා. එවැනි දුෂ්කරතා හේතුවෙන් ඡන්දදායකයින් අපෙන් ඈත් වුණා.

මේ සියළු අපහසුතා මධ්‍යයේ වුවත් ජනතාව අනවශ්‍ය ලෙස පීඩාවට පත් කිරීමට අප කටයුතු කළේ නැහැ. හෘද රෝගීන්ට නොමිලේ ස්ටේන්ස් ලබාදීම, නොමිලේ අක්ෂි කාච ලබාදීම, පිළිකා රෝගීන් වෙනුවෙන් ලක්ෂ පහළොවක උපරිමයකට යටත්ව ලබාදුන් ප්‍රතිකාර සීමාවකින් තොරව ජීවිතාන්තය දක්වා ලබාදීම, අත්‍යවශ්‍ය ඔඣීෂධ 48  ක මිල අඩු  කිරීම, සුවසැරිය ගිලන් රථ සේවය දීප ව්‍යාප්තව ආරම්භ කිරීම ආදී වැඩකටයුතු ගණනාවක් සිදු කළා. මේ අප සෞඛ්‍ය අංශයට සිදුකළ සේවය පමණයි.

සුවසැරිය ගිලන් රථ සේවය ආරම්භ කරන අවස්ථාවේ දී ඒකාබද්ධ විපක්‍ෂය ඊට දැඩි විරෝධය පළ කළ අතර එම ගිලන් රථ සේවාව පිළිබඳව වැරදි චිත්‍ර මවමින් ජනතාව නොමඟ යැවීමට කටයුතු කළා. නමුත්, සුවසැරිය ගිලන් රථ සේවාව නොතිබුණා නම් පසුගිය 05 වෙනිදා ඒකාබද්ධ විපක්ෂයේ කී දෙනෙක් මිය යනවාද ?

වසර තුනට වැඩ ගොඩක්  කළා !

ළඟම පාසල හොඳම පාසල වැඩසටහන යටතේ පාසල් නව දහසකට ගොඩනැගිලි ලබාදීම, පාසල් සිසුන් වෙනුවෙන් සුරක්‍ෂා රක්ෂණවරණය ලබාදීම අප සිදු කළ විශාල සේවාවන් බව පැවසිය යුතුයි. අප බලයට පත්වන විට විදුහල්පති ඇබෑර්තු 4000 ක් පුරප්පාඩු වී තිබුණා. නිසි ක්‍රම වේදයකට අනුව මෙම ඇබෑර්තු පිරවීමට අප කටයුතු කර තිබෙනවා.

ශිෂ්‍යාධාර දීමනාව වැඩි කිරීම, මහපොළ ශිෂ්‍යත්ව දීමනාව වැඩි  කිරීම ආදිය රටේ දරු දැරියන් වෙනුවෙන් අප ගත් ක්‍රියාමාර්ග ලෙස හැදින්විය හැකියි.

රටේ නිවාස ඉදිකිරීම වෙනුවෙන් 2014 දී වියදම් කර තිබුණේ රුපියල් මිලියන හත්දහස් අටසියයක් පමණයි. නමුත් අපේ ආණ්ඩුව යටතේ එය රුපියල් මිලියන නවදහස් හයසීයයක් දක්වා වැඩි කර තිබෙනවා. අප මේ වන විට උදාගම්මාන 1110  ක වැඩකටයුතු ආරම්භ කර මේ වන විට ඉදිවෙමින් තිබෙනවා. අපේ ඉලක්කය වන්නේ උදාගම්මාන 2500 ඉදිකිරීමයි.

නිවාස මිලදී ගැනීම සඳහා මධ්‍යම පාන්තිකයන්ට සහන ණය ලබාදීමට අපි වැඩකටයුතු ආරම්භ කර තිබෙනවා. වතුකරයේ නිවාස දස දහසක් ඉදිකිරීමේ කිරීමේ වැඩසටහන යටතේ මෙහත්මා ගාන්ධි පුරම්  ගම්මානය මේ වන විට ජනතා අයිතියට පත්කර තිබෙනවා. මහනුවර දිස්ත්‍රික්කය තුළ සාමාන්‍ය ජනතාවට සහ වතු කම්කරු ජනතාවට අවශ්‍ය ඉඩම් ලබාදීමේ කටයුතු ලක්ෂ්මන් කිරිඇල්ල ඇමතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරෙනවා. උතුරේ නිවාස හතලිස් දහසක් ඉදිකිරීමට කටයුතු කරනවා. පසුගිය මාසයේ ගයන්ත කරුණාතිලක ඇමතිතුමාත්, මමත් ඉඩම් හිමිකම් ඔප්පු දස දහසක් ලබා දුන්නා.

ජී.එස්.පී. ප්ලස් බදු සහනය ලබා ගැනීමට හැකි වීමෙන් සහ යුරෝපා මත්ස්‍ය තහනම ඉවත් කර ගැනීමට හැකිවීම නිසා අපේ අපනයන ඉහල ගොස් තිබෙනවා. ඒ අනුව පසුගිය වසරේ ඩොලර් මිලියන එකොලොස් දහස් නවසියයක වාර්තාගත අපනයන ආදායමක් ලබාගැනීමට අපට හැකි වුණා. අපට ඉන් සෑහීමකට පත්විය නොහැකියි.

සංචාරක ආකර්ෂණයේ වර්ධනයක් !

ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින්ගේ ප්‍රමාණය පසුගිය කාලයේ ලක්ෂ විස්ස දක්වා වැඩිවුණා. එමෙන්ම සංචාරක ක්ෂේත්‍රය තුළ තිස් පන්දහසකට අධික ප්‍රමාණයකට රැකියා ලබාදීමට හැකි වුණා.

මේ සියල්ල අප සිදුකලේ බාධක හා අභියෝග රැසක් මධ්‍යයේ රට ඉදිරියට ගෙන යන අතරතුර දී බව කිව යුතුයි. ඒ කාලය තුළ අපට සිදු කිරීමට නොහැකි වූ කාරණා ද තිබෙනවා. නමුත් රට වෙනුවෙන් විශාල වැඩකොටසක් සිදු කිරීමට හැකිවීම පිළිබඳව අප සතුටට පත්විය යුතුයි.

පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් අනතුරුව අපේ ආණ්ඩුව යටතේ සිදු වූ අඩුපාඩු පිළිබඳව අපේ අවධානය යොමු කළා. මැතිවරණයෙන් ජනතාව ලබාදුන් පණිවිඩය තේරුම් ගනිමින් එම දුර්වලතා මඟහරවා ගැනීමට අපි කටයුතු කළා. ඉදිරි කාළය තුළ, ආණ්ඩුවක් ලෙස තවත් වැඩකටයුතු රාශියක් සිදු කිරීමට තිබෙනවා.

ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරුන්ට අවශ්‍ය මුදල් දැන් ලබාදී තිබෙනවා. ගම්පෙරළිය වැඩසටහන සඳහා අවශ්‍ය මුදල් ලබාදී තිබෙනවා. කුඩා ව්‍යවසායකින්ට ආධාර උපකාර කිරීම වෙනුවෙන් එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන ආරම්භ කර තිබෙනවා.

රටේ ජනතාවට රැකියා ලබාදීම අපි දැන් ආරම්භ කර තිබෙනවා. උපාධිධාරින් රැකියා පුහුණුවීම් සඳහා බඳවා ගනිමින් සිටිනවා. ආරම්භයක් ලෙස මෙම වැඩකටයුතු ප්‍රමාණවත් යැයි මම සිතනවා.

ගම හදන අතර රටත් දියුණු කල යුතුයි !

ගම දියුණු කරන අතරම රට දියුණු කිරීමත්, කළ යුතුයි. මේ වන විට මධ්‍යම අධිවේගී මාර්ගයේ වැඩ කටයුතු අපි ආරම්භ කර තිබෙන අතර එය කඩවත සිට කටුගස්තොට දක්වා ඉදිකෙරෙනවා. චීනය, ජපානය, ඉන්දියාව එම අධිවේගී මාර්ගයේ අදියර 03ක ඉදිකිරීම කටයුතු සිදුකරන අතර එක් අදියරක ඉදිකිරීම් කටයුතු සිදුකරන්නේ ශ්‍රී ලාංකික සමාගම් බව කිව යුතුයි. මෙම මාර්ගය ඉදිකිරීමෙන් අනතුරුව පැයක් වැනි කෙටි කාලයක් තුල මහනුවර සිට කොළඹබලා පැමිණීමට ඔබට හැකි වෙනවා. ඒ වගේම මහනුවර නගරය අළුතින් සැලසුම් කිරීම සඳහා ජපාන රජය ආධාර කරනවා. ඉදිරි වසර 10 තුළ මෙම වැඩකටයුතු සිදුකෙරෙනවා. සංචාරක හා සංස්කෘතික මධ්‍යස්ථානයක් ලෙස බෝගම්බර සිරමැදිරිය සකස් කරනවා.

මෙම වැඩකටයුතු එක් වසරකින් සිදු කර අවසන් කිරීමට හැකි බව මම කියන්නේ නැහැ. නමුත් මේ සියල්ල ඉටුකරමින් අප ඉදිරියට යා යුතුයි. මධ්‍යම අධිවේගී මාර්ගය කේන්ද්‍ර කර ගනිමින් වෙළඳ කලාප ඇති  කිරීමට අපි සූදානම් වෙනවා. ඉරණවිල සංචාරක කලාපයක් ඇති කරනවා. මහ නගර සංවර්ධන සැලැස්ම හරහා කොළඹනගරය දියුණු කරනවා. එදා නැව් නැති වරායක් වූ හම්බන්තොට වරාය අප ගත් තීරණ නිසා නැවත ක්‍රියාත්මක කිරීමටත්, ඒ වෙනුවෙන් ලබාගත් ණය මුදල් පියවීමටත් හැකියාව ලැබී තිබෙනවා.

මත්තල ගොඩදාන්න ඕන !

මොණරු පමණක් සිටි මත්තල ගුවන් තොටුපල ක්‍රියාකාරී ගුවන් තොටුපලක් බවට පත්කිරීමට අවශ්‍ය වැඩකටයුතු අප ආරම්භ කර තිබෙනවා. හම්බන්තොට වෙළඳ කලාපයක් ඇති කරනවා. මේ ආකාරයට මහනුවර සිට හම්බන්තොට දක්වා යටිතල පහසුකම් දියුණු කිරීම අපේ අරමුණයි. මෙය පළමු අදියර පමණක් බව කිව යුතුයි. දෙවන අදියරේ දී මහනුවර සිට ත්‍රිකුණාමලය දක්වා වැඩකටයුතු ආරම්භ කිරීමට හැකි වනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා. මේ වැඩකටයුතු සඳහා වසර 10ක් පමණ අවශ්‍යයි. 1977 ආරම්භ කළ වැඩපිළිවෙළ තුළින් රටේ ආර්ථික දියුණුව ඇති කිරීමට වසර 17ක් ගතවුණා. ආර්ථිකයක් බිඳ දැමීමට ගතවන්නේ කෙටි කාලයක් වුවත් ආර්ථිකයක් ගොඩනැගීමට වසර ගණනාවක් ගතවෙනවා.

අද ලෝකයේ තිබෙන්නේ දැනුම පදනම් කරගත් ආර්ථිකයක්. ඒ අනුව අප ඉදිරියට යා යුතුයි. මේ වැඩකටයුතු සිදු කරද්දී අපට චෝදනා එල්ල වන බව මා දන්නවා. විවේචන නොමැතිව කිසිවක් සිදුකළ නොහැකියි.  "පොහොට්ටුව" දැන් රට වෙනුවෙන් කරමින් සිටින්නේ මොනවාද? රටේ ජනතාවට ලබාදී තිබෙන පරමාධිපත්‍ය බලය ඔවුන් බේබද්දන්ට ලබාදී තිබෙනවා. ඔවුන් ප්‍රාදේශීය සභා තුළ හොදින් වැඩකටයුතු කරගෙන යනවාද? එසේ නම් දැන් ගම සම්පූර්ණයෙන් දියුණු වී තිබිය යුතුයි නේද? ප්‍රාදේශීය සභා බලය ඔවුන්ට හිමිව තිබුණත් එවැනි දියුණුවක් ගම තුළ ඇති කිරීමට ඔවුන්ට තවමත් හැකිවී නැහැ.

නමුත් මේ සියලූ අපහසුතා මධ්‍යයේ අප ඉදිරියට යනවා. ජනතාවගේ බලාපොරොත්තු සියයට සීයයකින් ඉටුකිරීමට නොහැකි වුණත් ඉන් බහුතරය ඉටු කරන බව ජනතාව දන්නවා. මහනුවර දිස්ත්‍රික්කය තුළ ප්‍රාදේශීය සභා කොට්ඨාශ 400ක් පමණ තිබෙනවා. ඉන් සාමාජිකයන් 10 දෙනා බැගින් අප තෝරා ගත යුතුයි. තවමත් එම තෝරාගැනීම් සිදු නොකළ ප්‍රාදේශීය කොට්ඨාශවලට ඒ සඳහා කොපමණ කාලයක් ගතවනවා දැයි දැනුම්දිය යුතුයි. එසේ නොමැති නම් අපේ මැදිහත්වීමෙන් මෙම තෝරා ගැනීම් සිදුකරනවා.

පක්ෂය තුළ වැඩ නොකරන සාමාජිකයන් ඉවත් කර වැඩ කරන සාමාජිකයන් පත් කරන්න යැයි මම පක්ෂයේ නිලධාරීන්ට පවසා තිබෙනවා. ඔබ ඒ වගකීම නිසියාකාරව ඉටු කරනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා.

ජයග්‍රහණය කළ හැකි අපේක්ෂකයන් පළාත් සභාව වෙනුවෙන් තෝරා ගත යුතුයි. රජයේ සංවර්ධන වැඩපිළිවෙළ පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සඳහා තවත් සති කිහිපයක් තුළ අප වැඩපිළිවෙළක් දියත් කිරීමට අප පියවර ගෙන තිබෙනවා.

ලක්ෂ්මන් කිරිඇල්ල ඇමතිතුමා පක්ෂයේ වැඩකටයුතු වෙනුවෙන් විශාල වෙහෙසක් දරමින් සිටිනවා. ලකී ජයවර්ධන, ආනන්ද අලූත්ගමගේ ආදී මැති ඇමතිවරුන් විශාල වැඩකොටසක් ඉටු කරනවා. ඔබ, ඔබේ ගම් මට්ටමේ නායකත්වය බාරගන්න. එවිට කලින් පැවති ආකාරයටම සිරිකොත මූලස්ථානය සමඟ සෘජු සම්බන්ධතා පවත්වමින් එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් සාර්ථකව දේශපාලන කටයුතු සිදුකිරීමට ඔබට හැකි වෙනවා.

B37A2225

B37A2262