විදුලි දුම්රිය ව්‍යාපෘතියෙන් ඇමැති දෙපළක් කොමිස් ඉල්ලලා !

විදුලි දුම්රිය ව්‍යාපෘතියෙන් ඇමැති දෙපළක් කොමිස් ඉල්ලලා !

ශ්‍රී ලංකාවට ඉතාමත් වැදගත් සෘජු රැකියා අවස්ථා විසිදෙදහස් පන්සියයකට ආසන්න ප්‍රමාණයක් නිර්මාණය කරමින් යුරෝ බිලියන පහක වාර්ෂික අඛණ්ඩ විදෙස් අපනයන ආදායමක් රටට ලැබීමට සලස්වමින් පරිසර හිතකාමී ක්‍රමයක් යටතේ ඇමෙරිකන් ඩොලර් මිලියන 500ක විදේශ ආයෝජනයකින් ආරම්භ කිරීමට සැලසුම්කර ඇති සිලෝන් හයිස්පීඩ් රේල්වේස් ලිමිටඩ් සමාගමේ විදුලි දුම්රිය නිෂ්පාදන ව්‍යාපෘතිය කොමිස් මුදල් හා ව්‍යාපාර කොටස් මුදල් ලබා ගැනීමේ චේතනාවෙන් වසර දෙකක් තිස්සේ ප්‍රමාද කරන බව එම සමාගමේ සභාපතිනි අනුශ්කා රේණු මහත්මිය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත පැමිණිලිකර තිබේ.

ඇමැතිවරයකුගේ හා රාජ්‍ය ඇමැතිවරයකුගේ පෞද්ගලික ආපේක්ෂාවන් සාක්ෂාත් කර ගැනීම සඳහා ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් තනතුරට පත්කළ පුද්ගලයකු රටේ සුබ සිද්ධිය උදෙසා කටයුතු කරනවා වෙනුවට, කරන මෙම විනාශය මහජන දේපළ අවභාවිත කිරීමක් මෙන්ම රටේ සංවර්ධනය නවතා දැමීමට කරන්නාවූ ක්‍රියා මාර්ගයක් බැවින් ජනාධිපතිතුමාගේ මැදිහත්වීමෙන් කඩිනම් පරීක්ෂණයක් පවත්වන ලෙසද අනුශ්කා රේණු මහත්මිය සිය ලියුම මඟින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත.

අදාළ ඇමැතිවරයා හා රාජ්‍ය ඇමැතිවරයා ඔවුන්ගේ ඉල්ලීම පරිදි තම සමාගමේ හා තම ආයෝජකයන්ගෙන් කොමිස් මුදල් හා සමාගමේ කොටස් මුල් අවස්ථාවේදීම ලබාදීමට එකඟ නොවීම නිසා, ඔවුන්ගේ දූෂිත වැඩ කටයුතු සඳහා ආයෝජන මණ්ඩලයේ සිටින ඔවුන්ගේ කීකරු ගෝලයන් තම රැකියා ආරක්ෂා කර ගැනීම සඳහා මෙම දූෂිත ක්‍රියාවලට සහයෝගය දෙන බවත් එනිසාම එම ආයතනය දේශපාලනික මාෆියාවක් බවට පත්ව ඇති බවත් ඇය පෙන්වා දෙයි.

මේ තත්ත්වය පිළිබඳව අමාත්‍යාංශ ලේකම්වරියට යුරෝපයේ සිට දන්වා සිටි අවස්ථාවේ ඇයට මේ සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් ගත නොහැකි වන ලෙස මෙම ව්‍යාපෘතියේ කටයුතුවලට මැදිහත් නොවන ලෙස ඉහත කී අමාත්‍යවරයා උපදෙස් දී ඇති බව දැනගන්නට ලැබුණු බවද සමාගමේ සභාපතිනිය පවසයි.

ආයෝජන මණ්ඩලයේ ප්‍රධානියකුගේ හා තවත් බලවත් නිලධාරියකුගේ ඉල්ලීම පරිදි තමන් ආයෝජන මණ්ඩලයට ගිය අවස්ථාවේ ඔවුන්ගේ ඉල්ලීම වූයේ මෙම ව්‍යාපෘති සැලසුම, ගැනුම්කරුවන්, සැපයුම්කරුවන්, ලබන්නාවූ ලාභ හා අනෙකුත් තාක්ෂණික හැකියාවන් පිළිබඳ රහස්‍ය තොරතුරු ඔවුන් වෙත ලබාදෙන ලෙස බවත් තම කර්මාන්තපුරවල පාරවල් සහ යටිතල පහසුකම්වලට සමාගම පෞද්ගලික වැය කරන වියදම් ඇතුළු අනෙකුත් විස්තර ඔවුන්ට ලබාදිය යුතුවූ බවද ඉල්ලා සිටි බවද ඇය සඳහන් කරයි.

ආයෝජන මණ්ඩල ඉහළ නිලධාරීන් දෙදෙනකු ඉතාලියේ සංචාරයක යෙදෙන බැවින් එහිදී තම සමාගමේ යුරෝපීය අධ්‍යක්ෂවරයා හමුවිය හැකි බවට කරන ලද දැනුම් දීමක් මත 2017.09.28 දින ඉතාලියේ මිලාන් සෙන්ට්‍රල් දුම්රියපළ අසල හෝටලයකදී ඔවුන් දෙදෙනා හමුවූ බව සඳහන් කරන සභාපතිනිය, මෙම ව්‍යාපෘතිය අනුමත කරගැනීමට අවශ්‍ය නම් ආයෝජන මණ්ඩල බලධාරියා පවසන ආකාරයට කටයුතු කරන ලෙස අදාළ ලිපි ලේඛන අලුතින් ඔහුට ලබාදෙන ලෙසත් අනිත් පුද්ගලයා පැවසූ බවත් ජනාධිපතිට යවූ ලිපියේ සඳහන් කරයි. එසේ නොවෙන්නේ නම් මෙම ව්‍යාපෘතිය අනුමත කළ නොහැකි බවත්, මෙම හමුවීම කිසිවකුට නොදන්වන ලෙසත්, මෙම ව්‍යාපෘතිය පිළිබඳව කිසිවිටෙක සාමාන්‍ය දුරකථනයකින් කතා නොකරන ලෙසත් ඔහු උපදෙස් දුන් බවද ඇය සඳහන් කරයි.

සභාපතිනිය සිය පැමිණිල්ල සමඟ මෙම සිදුවීම්වලට අදාළ හඬපට,  වීඩියෝපට, ව්‍යාපෘතිය සඳහා මිලට ගෙන ඇති යන්ත්‍රෝපකරණවල ඡායාරූපද යාකර ජනාධිපතිවරයාට යොමුකර තිබේ.

මව්බිම

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න