එල්ටීටීඊ සංවිධානයට එරෙහිව ශ්‍රී ලංකා හමුදාවන් ගෙනගිය යුද්ධයේ අවසාන සති දෙක පිළිබඳව සියලු දෙනාටම වඩා හොදින් කරුණු දන්නේ තමන් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම අදහස් පළ කලේ ඇමරිකාවේ නිවුයෝක්හිදී එරට වෙසෙන ශ්‍රී ලාංකිකයන් පිරිසක් අමතමිනි.
එම කාලයේ දී තමන් වැඩ බලන ආරක්ෂක ඇමතිවරයා ලෙස කටයුතු කළ බවත් හිටපු ජනාධිපතිවරයා, හිටපු අගමැතිවරයා, හිටපු හමුදාපතිවරයා, හිටපු ආරක්ෂක ලේකම්වරයා එම කාලයේදී ලංකාවේ නොසිටි බවත් එහිදී ජනාධිපතිවරයා සඳහන්කර ඇත.
එල්ටීටීඊ සංවිධානය අවසන් සටන පසු නොබසින බවත් දකුණු ඉන්දියාවෙන් හෝ වෙනත් කොහේ හෝ සිට පැමිණ උඩින් බෝම්බ දමා කොළඹ නගරය සම්පූර්ණයෙන්ම විනාශ කරන බවට රජයට ලැබී තිබූ තොරතුරු මත ඔවුන් රටින් පිටව ගොස් සිටි බව ද ජනාධිපතිවරයා කියා ඇත.
තමන්ද එම අවසන් සති දෙකේ කොළඹ නොසිටි බවත් රටේ තැන් තැන්වල සිටි බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.

