පොලිස්පතිවරයා ඉවත් කිරීම කළ හැක්කේ කෙසේද?

පොලිස්පතිවරයා ඉවත් කිරීම කළ හැක්කේ කෙසේද?

පොලිස්පති පූජිත් ජයසුන්දරගේ විවිධ හැසිරීම් හා එල්ල වී ඇති චෝදනා අනුව ඔහු තනතුරින් ඉවත් කළ යුතු බවද, ඔහු තනතුරේ තබාගෙන ඇතැම් පරීක්ෂණ සිදු කළ නොහැකි බවද පවසමින් විවිධ මත ඉදිරිපත්ව තිබේ. එහෙත් ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාවට එක්වූ විවිධ සංශෝධන නිසා පොලිස්පති පත් කරන ව්‍යාවස්ථාදායක සභාවට හෝ ජනාධිපතිවරයාට පොලිස්පති ඉවත් කළ නොහැක.
 
පොලිස්පතිවරයා තනතුරින් ඉවත් කළ හැක්කේ 2002 අංක 5 දරන රාජ්‍ය නිලධාරීන් ඉවත් කිරීමේ (විධිවිධාන) පනත තුළ අන්තර්ගත කරුණු සැලකිල්ලට ගෙන බව නීති විශාරදයෝ පෙන්වා දෙති.  ඒ අනුව පළමුවෙන්ම පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන්ගෙන් 1/3 ක පිරිසක් අත්සන් කර ලිපියක් මගින් පොලිස්පතිවරයා එම තනතුර දැරීමට සුදුසු නැති හෙයින් ඉවත් කිරීමට පියවර ගන්නා ලෙසට කතානායකවරයා වෙත ඉලලීමක් කළ යුතුය.
 
ඉන් අනතුරුව කාතානායකවරයා විසින් පොලිස්පතිවරයා තනතුරින් ඉවත් කිරීම සම්බන්ධයෙන් කරන ලද පැමිණිල්ල විභාග කිරීම සඳහා කමිටුවක් පත් කරනු ලබන අතර අගවිනිසුරු විසින් නම් කරනු ලබන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු, ජාතික පොලිස් කොමිසමේ සභාපතිවරයා මෙන්ම කාතානායකවරයා විසින් නම් කරන ලද නියෝජිතයින් තිදෙනා එම කමිටු සාමාජිකයෝ බවට පත් වෙති.
 
එම කමිටුව විසින් පැමිණිලි සහ සාක්ෂි විභාග කොට ඒ පිළිබඳ වාර්තාවක් කතානායකවරයාට ඉදිරිපත් කළ යුතුය. ඉන් අනතරුව කතානායකවරයා වරයා විසින් පොලිස්පතිවරයා ඉවත් කිරීම සම්බන්ධයෙන් කමිටු වාර්තාවේ නිර්දේශය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 113 දෙනෙකු විසින් (සරල බහුතරයෙන්) එකඟතාව පළකිරීමෙන් පසු පොලිස්පතිවරයා එම තනතුරින් ඉවත් කළ හැකි වන බව නීති විශාරදයෝ කිහිප දෙනෙකු රාවයට පැවසූහ.
 
මේ පිළිබඳව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ උදය ගම්මන්පිල පොලිස්පතිවරයා ඉවත් කිරීම සම්බන්ධ කාරණාව ඉකුත් දෙසැම්බර් 26 වැනි දින ඒකාබද්ධ විපක්ෂය තුළ සාකච්ඡාවට ලක් කළ බව පැවසීය. පොලිස්පති පූජිත් ජයසුන්දරට එරෙහිව විශ්වාසභංගයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ඒකාබද්ධ විපක්ෂය පැවැත්වූ මාධ්‍ය හමුවකදී මහින්ද යාපා අබේවර්ධන මන්ත්‍රීවරයා ප්‍රකාශ කර තිබිණි.
 
රාවය

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න