මෛත්‍රී - මහින්ද : එස්.බී ගේ නිවසේ රහස් හමුවක !

මෛත්‍රී - මහින්ද : එස්.බී ගේ නිවසේ රහස් හමුවක !

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අතර රහස් හමුවත් පසුගියදා පාර්ලිමේන්තු මන්ත්‍රී  එස්.බී. දිසානායකගේ නිවසේ සිදුව ඇති බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.  

එම ආරංචිමාර්ග පෙන්වාදෙන ආකාරයට  ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වත්මන් ආණ්ඩුවෙන් ඉවත් වී ඒකාබද්ධ විපක්ෂය සමග භාරකාර ආණ්ඩුවක් පිහිටුවීමට පසුගියදා පැවති සන්ධාන විධායක සභාවේදී සාකච්ඡාවූ අවස්ථාවක සිදුව ඇති මෙම සුහද හමුව දේශපාලනික වශයෙන් විශේෂ වැදගත්කමක් උසුලන අතර එහිදී සාකච්ඡා කර ඇති කරුණු කිසිවක් මෙතෙක් අනාවරණය වී නොමැත.

එසේම තවත් දින කිහිපයකින් ජනාධිපතිවරයා සහ  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තවත් ප්‍රබලයකු අතර හමුවක්ද පැවැත්වීමට නියමිත බවද දේශපාලන ආරංචිමාර්ග සඳහන් කර සිටියි.

තවත් හිටියොත් ශ්‍රීලනිපය විනාසයි !

මේ අතර එක්සත් ජාතික පක්ෂය සමග පවතින ගනුදෙනු අතහැර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සන්ධානයේ ආණ්ඩුවක් ඉදිරි මාස කිහිපය තුලදී පිහිටුවීම සම්බන්ධයෙන් පසුගියදා පැවති එක්සත් ජනතා නිදහස් සන්ධාන විධායක සභාවේ අවධානය යොමුව ඇති අතර ඉදිරි පළාත් සභා මැතිවරණයේ දී යලිත් එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ තරඟ කිරීමේ හැකියාව සම්බන්ධයෙන් එහිදී සාකච්ජාවට ලක්ව ඇත.

එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන ශ්‍රීලනිප නියෝජිතයින් මෙන්ම මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා ඇතුළු පක්ෂ නියෝජිතයින් කිහිප දෙනෙකු, ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ ලංකා කම්කරු කොංග්‍රසය සහ ඒ.එල්.එම් අතාවුල්ලා මහතාගේ ජාතික කොංග්‍රසය, ශ්‍රී ලංකා මහජන පක්ෂය ද මෙම විධායක සභා රැස්වීමට සහභාගී වී ඇත.

ආණ්ඩුවෙන් ඉවත්වූ ශ්‍රීලනිප 15 කණ්ඩායමේ අනුර ප්‍රියදර්ශන යාපා මහතා හා එස්.බී. දිසානායක යන මන්ත්‍රීවරුන්ද මෙම රැස්වීමට සහභාගීව ඇත.

ආර්ථික අර්බුදයට එජාපයට විසඳුමක් නැතැයි මෙහිදී අවධාරණය  කර ඇති සන්ධාන පක්ෂ නායකයින්, තවදුරටත් එක්සත් ජාතික පක්ෂය සමග ආණ්ඩු කළහොත් ජනාධිපතිවරයාත්, ශ්‍රීලනිපයත් දේශපාලනික වශයෙන් නන්නත්තාර වන බවත් අවධාරණය කර ඇති බවද වාර්තා වෙයි.

"කළ යුත්තේ කුමක්ද?" කියා ජනපති වාර්තාවක් ඉල්ලයි ! 

මෙහිදී අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා අදහස් දක්වමින්  "ආණ්ඩුව තුල ඉන්නේ තනතුරු හෝ වරප්‍රසාද නිසා නොවන බවත්  ''ආණ්ඩුවෙන් ගිහින් මොකද කරන්නේ'' යන ප්‍රශ්නය ගැන අවධානය යොමුකළ යුතු බවත් පවසා ඇත.

මෙහිදී අදහස් දක්වා ඇති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, සන්ධානය ඉදිරියේදී ගතයුතු පියවර හා ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් දෙසතියක් තුල වාර්තාවක් ලබාදෙන ලෙස සන්ධාන නියෝජිතයින්ට දැනුම් දී ඇති බවද දැනගන්නට ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න