ජනතා පැතුම් ඉටුනොකර ගෙදර ගිය අය  : ජනපති අගමැති වරප්‍රසාද ඉල්ලනවා - සජිත් 

ජනතා පැතුම් ඉටුනොකර ගෙදර ගිය අය  : ජනපති අගමැති වරප්‍රසාද ඉල්ලනවා - සජිත් 

ජනතා මනාපයෙන් දේශපාලඥයින් බලයට පත් වන්නේ වරප්‍රසාද බුක්ති විඳීමට නොව බලය තුළින් වරප්‍රසාද නොලද අසරණ ජනතාව ශක්තිමත් කිරීමට බව නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස පවසයි.

ජනතා වරමින් රටේ ඉහළම තැනට ගොස් රටට සහ ජනතාවට යුතුකම් ඉටු නොකර ගෙදර ගිය කණ්ඩායම නැවත ජනපති අගමැති වරප්‍රසාද ඉල්ලා සිටින බවත්, ඔවුන් නැවත බලය ඉල්ලා සිටිනුයේ ජනතාවට සේවය කිරීමට නොව රටේ හා භූමියේ අයිතිය සින්නක්කර ඔප්පුවෙන් එක් පවුල් පරම්පරාවකට ලබා ගැනීමට බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

යහපාලන රජය තුළ මෙරට ජනතාවට ඉඩම් හා නිවාස ලබා ගැනීමට හිඟමනේ යාමට අවශ්‍ය නොමැති බව කී අමාත්‍යවරයා, ජනතාව බලය ලත් පුද්ගලයින්ගේ පසුපස යාමට පෙර බලය ලත් අප ජනතාවගේ දෙපතුළ ළඟට පැමිණ දුක, කදුල, වේදනාව සොයාබලා ඔවුන්ගේ නිවාස ගැටළු විසඳීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා මෙහිදි වැඩිදුරටත් පැවසීය.  

සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ මුලතිව් දිස්ත්‍රික්කයේ, මාන්තෙයි නැගෙනහිර ඉදිවූ “බණ්ඩාරවන්නියන්” සහ “කෛලායවන්නියන්” යන උදා ගම්මාන දෙක ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාවට ඊයේ  (05) දින සහභාගී වෙමිණි. “සැමට සෙවණ” යළි පිබිදෙන උදා ගම්මාන වැඩසටහන යටතේ ජනතා අයිතියට පත් වන 132 සහ 133 වන ආදර්ශ ගම්මාන මේවා වේ.

නිවාස 55 කින් සමන්විත මෙම ගම්මාන දෙක අංග සම්පූර්ණව ඉදිකිරීම සඳහා වැයකළ මුදල රුපියල් ලක්ෂ 585 කි. පිරිසිදු පානීය ජලය, විදුලිය, ප්‍රවේශ මාර්ග හා විධිමත් අභ්‍යන්තර මාර්ග ඇතුළු සියලු යටිතල පහසුකම් වලින් මෙය සමන්විත වේ. ‍

මෙම ගම්මාන ජනතා අයිතියට පත්කිරීමට සමගාමීව නිවාසලාභීන් 55 දෙනාට නිවාස හිමිකම් පත්‍ර සහ රුපියල් ලක්ෂ 440 ක් වටිනා සංවර්ධිත බිම් කොටස් 55 ක හිමිකම ලබාදීම, අඩු ආදායම්ලාභී පවුල් 300 කට රුපියල් ලක්ෂ 300 ක් වටිනා ‘විසිරි නිවාස ණය’, ප්‍රතිලාභීන් 51 කට රුපියල් ලක්ෂ 219 ක වටිනාකමකින් යුතු නිවාස ආධාර, ප්‍රතිලාභීන් 5 කට රුපියල් ලක්ෂ 5 ක ස්වයං රැකියා ණය, දෘෂ්‍යාබාධ සහිත පුද්ගලයින් 353 දෙනෙකුට ඇස් කණ්නාඩි සහ නිවාසලාභීන් සඳහා අඹ පැළ ප්‍රදානය කිරීමද අමාත්‍යවරයා අතින් මෙහිදී සිදු කෙරුණි.

“බණ්ඩාරවන්නියන්” උදා ගම්මානයට පානීය ජලය සැපයීමේ ව්‍යාපෘතිය සඳහා මුල්ගල තැබීමද අමාත්‍යවරයා අතින් මෙහිදී සිදු කෙරිණි. මෙම ජල ව්‍යාපෘතිය සඳහා ජාතික ඒකාබද්ධතා හා ප්‍රතිසංවිධාන අමාත්‍යංශයේ ප්‍රතිපාදන මත රුපියල් ලක්ෂ 30 ක මුදලක් වැය කිරීමට නියමිතය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න