හින්දු පුවත්පතට තොරතුරු දුන්නේ කවුද : විමර්ශනයක් අවශ්‍යයි - මහින්ද 

හින්දු පුවත්පතට තොරතුරු දුන්නේ කවුද : විමර්ශනයක් අවශ්‍යයි - මහින්ද 

රෝ ඔත්තු සේවය විසින් තමා ඝාතනය කිරීමට සැලසුම් කළ බවක් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී පැවසු බවට ‘ද හින්දු‘ පුවත්පතේ පළවූ පුවත තමන්ට ලබාදුන්නේ කැබිනට් මණ්ඩල නියෝජිතයින් සිව් දෙනෙකු බව එම පුවත්පතේ මෙරට මාධ්‍යවේදිනිය පවසා ඇති බැවින් එම සිව් දෙනා කවුරුන්ද යන්න සොයා වහාම පරීක්‍ෂණයක් පැවැත්විය යුතු බව වරාය හා නාවික කටයුතු පිළිබඳ අමාත්‍ය මහින්ද සමරසිංහ  පැවසීය.

අමාත්‍යවරයා  මේ බව පැවසුවේ කොළඹ, ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේදී ඊයේ  (18) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.  

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර ගැටුමක් ඇතිවන අකාරයේ අසත්‍ය පුවතක් මාධ්‍ය වෙතයාම භයානක තත්ත්වයක් බව ද ඇමතිවරයා සඳහන් කළේය.
එබැවින් ඒ ගැන සෙවීම ආණ්ඩුවේ වගකීමක් බවද ඇමතිවරයා කියා සිටියේය.

ජනාධිපතිවරයා සත්‍ය වශයෙන් එවැන්නක් පැවසුවේ නම් එම පුවත ලබාදුන් අය තම නමින් එය පළකරන ලෙස ද පැවසිය යුතුව තිබූ බව කී ඇමතිවරයා ‘ද හින්දු‘ පුවත්පතේ මාධ්‍යවේදිනිය පවසා ඇති අන්දමට එම පුවත ඇය අමතා ලබාදීමට සිව් දෙනෙකුම කටයුතු කිරීම සැක සහිත බව ද කීවේය.

මෙම අසත්‍ය පුවත සම්බන්ධයෙන් ඉන්දියාවට සත්‍ය පැහැදිලි කරදීම සඳහා ජනාධිපතිවරයාට මෙන්ම රජයට දැඩි උත්සාහයක් දැරීමට සිදුවූ බව ද මහින්ද සමරසිංහ මහතා ප‍්‍රකාශ කළේය.

අමාත්‍ය මණ්ඩලය නියෝජනය කරන පිරිසක් හෝ වෙනත් කවුරුන් හෝ සැලසුම් සහගතව මෙම පුවත පළකරවා දෙරට අතර ගැටුමක් ඇති කර  කිසියම් කඩාකප්පල්කාරී ක‍්‍රියාවක් කිරීමට උත්සාහ කර ඇතැයි ද ඇමතිවරයා පැවසීය.

මෙම පුවත ලබාදුන්නේ කවුරුන්ද යන්න හෙළි කිරීම මාධ්‍ය ආචාරධර්මවලට පටහැනි නිසා ඒ සම්බන්ධයෙන් අදාළ මාධ්‍යවේදිනියගෙන් තොරතුරු ලබාගත නොහැකි බව කී අමාත්‍යවරයා ඒ වෙනුවෙන් වෙනත් පියවරක් අනුගමනය කිරීමට සිදුවන බව ද ප‍්‍රකාශ කළේය.

රෝ ඔත්තු සේවය සම්බන්ධ පුවත ආණ්ඩුවේම කිසිවකු විසින් කළ ද්‍රෝහී ක‍්‍රියාවක් ද යන්න ගැන මාධ්‍යවේදියෙකු මෙහිදී ඇසූ ප‍්‍රශ්නයකට පිළිතුරු දුන් ඇමතිවරයා පැවසුවේ මෙවැනි අසත්‍ය නිර්මාණය කිරීම රටට යහපත් නොවන බවයි.

අමාත්‍ය මණ්ඩලය තුළ කෙරෙන ප‍්‍රකාශයන් විකෘති කර පිටතට දෙන අය එහි සිටී නම් කැබිනට් මණ්ඩලය නියෝජනය කිරීම ලැජ්ජාවක් බව ද මහින්ද සමරසිංහ මහතා සඳහන් කළේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න