කොටිකාවත්ත සණස ලොක්කන්ට වැඩ වරදියි :  අල්ලස් කොමිසමෙනුත් විමර්ශනයක් 

කොටිකාවත්ත සණස ලොක්කන්ට වැඩ වරදියි :  අල්ලස් කොමිසමෙනුත් විමර්ශනයක් 

සීමාසහිත කොටිකාවත්ත සණස සමිතියේ මහා පරිමාණ වංචා සහ දූෂණ ක්‍රියා පිළිබදව එහි සභාපති සහ කළමනාකාරිනියට ද ඔවුන්ට අනුබල දී ඇතැයි කියන රාජ්‍ය නිළධාරීන් කීප දෙනෙකුට ද එරෙහිව කර ඇති පැමිණිල්ලක් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශණ කොමිෂන් සභාව විසින් පුර්ණ විමර්ශනයක් සිදු කිරිමට තීරණය කර ඇති බව  වාර්තා වෙයි.

පැමිණිලිකාර සාමාජිකයන් විසින් පරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව (CID) වෙත යොමු කරන ලද පැමිණිල්ලක් අධ්‍යයනය කිරීමෙන් පසුව එම පැමිණිල්ලේ ඇතුලත් කරුණු අතර බරපතල දූෂණ ක්‍රියාවන් ද හෙළිදරව් වන බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරී මොහාන් සිරිවර්ධන මහතා පැමිණිලිකරුවන් වෙත දැනුම් දී ඇත.

ඒ අනුව එම දූෂණ ක්‍රියාවන්ට අදාල පැමිණිලි අල්ලස් හො දූෂණ කොමිෂන් සභාව වෙත යොමු කරන ලෙසට සහකාර පොලිස් අධිකාරී මොහාන් සිරිවර්ධන මහතා විසින් ලිඛිතව ලබා දී තිබූ උපදෙස් මත පැමිණිලිකරුවන් විසින් එම පැමිණිල්ල අල්ලස් හෝ දූෂණ විමර්ශණ කොමිෂම වෙත යොමු කර ඇති අතර චෝදනාවල ඇති බරපතල ස්වභාවය සැළකිල්ලට ගත් අල්ලස් හෝ දූෂණ විමර්ශණ කොමිෂන් සභාව මෙම චෝදනා පිළිබ‍ද පුර්ණ විමර්ශනයක් සිදු කිරිමට තීරණය කර ඇත.

2015 වසරට අදාල විගණන වාර්තාව නිකුත් වීමට පෙර සිටම සාමාජිකයන් විසින් සමිතියේ අක්‍රමිකතාවයන් පිළිබදව බස්නාහිර පළාතේ සමූපකාර සංවර්ධන කොමසාරිස්වරයාටත් සහකාර කොමසාරිස්වරයාටත් ලිඛිත පැමිණිලි ගණනාවක් ඉදිරිපත් කර තිබුන ද එම කිසිදු පැමිණිල්ලක් ගැන නිසි විමර්ශණයක් කිරීමට මෙම කොමසාරිස්වරු කිසිදු ක්‍රියා මාර්ගයක් ගෙන නොමැති වීමත් සමූපකාර දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මෙම සමිතියේ සභාපතිවරයාගේ අත්තනෝමතික ක්‍රියා සියල්ල ගැන මුනිවත රකින බවත්, සමූපකාර දෙපාර්තමේන්තුවේ සිටි විගණන කොමසාරිස්වරයකු සිය දියණියකට මෙම සමිතියේ රැකියාවක් පවා ලබා දී තිබූ බවත්, එම ක්‍රියාව පැහැදිලි ලෙසම අල්ලස් ලබා ගැනීමක් බවත් පැමිණිල්ලේ දක්වා ඇති කරුණු අතර වේ. සමුපාකාර  දෙපාර්තමේන්තුවේ සමහර නිලධාරීන්ට විදේශ සවාරි, විදුලි උපකරණ හා මුදල් විවිධ ක්‍රම මගින් අල්ලස් ලෙස ලබා දී ද ඇතැයි සදහන්. එසේම සමූපකාර දෙපාර්තමේන්තුව විසින්ම සිදු කරන ලද විගණනයේ දී හෙලිදරව් වී ඇති දූෂණ ක්‍රියා, මුදල් අවභාවිතාවන්, සහ චේතනාන්විතවම සමිතියට පාඩු සිදු කිරීම් පිළිබදව බස්නාහිර පළාතේ සමූපකාර නීතිය යටතේ සමූපකාර කොමසාරිස්වරයාට පියවර ගත හැකිව තිබිය දී එසේ නොකිරීම දූෂිතයන්ට සහ දූෂණ ක්‍රියාවන්ට අනුබල දීමක් බවත් මෙම පැමිණිල්ලේ දක්වා ඇත.

මෙම පැමිණිල්ලේ ලිඛිත සාක්ෂි වලට අමතරව ඔවුනෙවුන් අතර සිදු කර ඇතැයි කියන දුරකථන සංවාද වල හඩ පටි කිහිපයක් ද සභාපතිවරයා හා හිටපු ලේකම්වරයා විසින් එම දුෂණ සිදු වු බවට ඔවුන් විසින්ම සිදු කර ඇති ප්‍රකාශ ඇතුලත් හඩ පටි කිහිපයක් ද දූෂණ කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කර ඇති බවට වාර්තා වේ. එසේම අයථා ලෙස උපයාගත් මුදල් එම තැනැත්තන් විසින් ආයෝජනය කර ඇති ආකාරය ද පැමිණිල්ලේ සාක්ෂි සහිතව දක්වා ඇති නිසා අදාල තැනැත්තන්ගේ හා පවුල්වල සාමාජිකයන්ගේ නමින් ඇති වංචල සහ නිශ්චල දේපල වත්කම් පිළිබදව විමර්ශනය කිරීමට ද අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට තිරණය කර ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න