අධිකරණයේ ස්වාධීනත්වය  හා ජන විශ්වාසය තහවුරු කරනවා : නව අගවිනිසුරු කියයි

අධිකරණයේ ස්වාධීනත්වය  හා ජන විශ්වාසය තහවුරු කරනවා : නව අගවිනිසුරු කියයි

අධිකරණයේ ස්වාධීනභාවය හා ජන විශ්වාසය තහවුරු කිරීමට හේතුවන සියලු ක්‍රියාමාර්ග තමන් විසින් ගන්නා බව  නව අගවිනිසුරු නලින් පෙරේරා පවසයි.

නව අගවිනිසුරු නලින් පෙරේරා  පිළිගැනීමේ චාරිත්‍රානුකූල නිල උත්සවය අද(22) කොළඹ උපරිමාධිකරණ සංකීර්ණයේ දී පැවති අතර එහිදී ඔහු මේ බව සඳහන්කර සිටියේය.

උපරිමාධිකරණයේ විශේෂ අධිකරණ ශාලාවේ මෙම පිළිගැනීමේ උත්සවය පැවති අතර එහිදී නව අගවිනිසුරු නලින් පෙරේරා පිළිගනිමින් නීතිපති හා ජනාධිපති නීතිඥ ජයන්ත ජයසූරිය සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ යූ .ආර්. ද සිල්වා  කතා පවත්වනු ලැබීය.

ඉන් අනතුරුව සිය දේශනය සිදුකළ නව අගවිනිසුරු නලින් පෙරේරා වැඩිදුරටත් සඳහන්කර ඇත්තේ අධිකරණය කෙරෙහි පවතින මහජන විශ්වාසය සහ ගරුත්වය තහවුරු වීමට නම් එහි අපක්ෂපාතී භාවය තහවුරු කිරිම ඉතා වැදගත් බවත්  ජනතාව ද අධිකරණ ක්‍රියාදාමය කෙරෙහි වඩාත් අවධානයකින් පසුවිය යුතු බවත්ය.

එමෙන්ම අධිකරණ කටයුතු සම්බන්ධයෙන් පවතින මහජන මැසිවිලි අධිකරණ සේවා කොමිසම වෙත යොමු කරන මෙන් මහජනතාවගෙන් ඉල්ලා සිටි අගවිනිසුරුවරයා එවැනි පැමිණිලි සම්බන්ධයෙන් කඩිනම් ක්‍රියාමාර්ග ගැනීමට පසුබට නොවන බව ප්‍රකාශ කර ඇත.

තම කතාව අතරතුර දී කිහිප වතාවක්ම බයිබලයේ අන්තර්ගත ප්‍රකාශ උපුටා දක්වමින්, අදහස් පලකල අගවිනිසුරු නලින් පෙරේරා මහතා අධිකරණ ක්ෂේත්‍රයේ පහල මට්ටමක සිට ඉහළ දක්වා සියලුම ආකාරයේ තනතුරු දැරූ තමා වැනි පුද්ගලයෙකු අගවිනිසුරුධුරයට පත් කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට ස්තුතිය පළ කරන බවද  පවසා ඇත.

මෙම පිළිගැනීමේ චාරිත්‍රානුකූල උත්සවය සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය ,අභියාචනාධිකරණය, කොළඹ මහාධිකරණය, කොළඹ සිවිල් අභියාචනා මහාධිකරණය, කොළඹ වාණිජ මහාධිකරණය සහ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය මෙන්ම කොළඹ දිසා අධිකරණය නියෝජනය කරන සියලුම විනිසුරුවරුන් සහභාගි වී සිටියහ.

මෙම උත්සවය සඳහා ජනාධිපති නීතිඥවරු ඇතුළු නීතිඥවරු විශාල පිරිසක් සහභාගී වී සිටියහ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න