යහපාලන රජය යුද්ධයෙන් විපතට පත්වූවන්ට වන්දි ලබාදීමේ පනත පාර්ලිමේන්තුවේදී සම්මත කර ගැනීම දේශද්‍රෝහී රට පාවා දෙන ක්‍රියාවක් යැයි ඊනියා දේශප්‍රේමීත්වයෙන් වෙලී ගිය විරුද්ධවාදීන් පවසන බව නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
ජාති, ආගම් භේදයෙන් තොරව යුද්ධයෙන් අවතැන්වූවන්ට වන්දි ලබාදීම දේශද්‍රෝහී ක්‍රියාවක් ලෙස විරුද්ධවාදීන් හැඳින්වීම හරිදැයි තමන් ජනතාවගෙන් ප්‍රශ්න කරන බවත්, යහපාලන රජය රට පුරා උදා ගම්මාන 20,000 ක් ඉදිකරන විට යුද්ධයෙන් විපතට පත්වූ රණවිරුවන් ඇතුළු ජනතාවට නොමිලේ ඉඩම් ලබාදී නිවාස ඉදිකර දීමද ඔවුන් පවසන පරිදි වැරදි විය යුතු බවත් මෙහිදී අමාත්‍යවරයා සඳහන් කළේය.
වීරෝදාර රණවිරුවන් උදෙසා ‘අපි වෙනුවෙන් අපි’ නමින් ආශ්චර්යමත් වැඩසටහනක් විරුද්ධවාදීන් එදා ආරම්භ කර රණවිරුවන්ට ලබාදුන් ඉඩම්වලින් පවා මුදල් අයකර ගත් බව පැවසූ අමාත්‍යවරයා, යහපාලන රජය අද රණවිරුවන්ට ලබාදෙන ඉඩම්වලින් කිසිදු මුදලක් අයකර නොගන්නා බවද මෙහිදී අවධාරණය කළේය.
සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ අම්පාර දිස්ත්‍රික්කයේ, මහඔය, කැකිරිහේන ප්‍රදේශයේ ඉදිවූ “සත්නිඳුගම” උදා ගම්මානය ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාවට අද (21) දින සහභාගී වෙමිණි. “සැමට සෙවණ” යළි පිබිදෙන උදා ගම්මාන වැඩසටහන යටතේ ජනතා අයිතියට පැවරුණු 143 වන ආදර්ශ ගම්මානය මෙය වේ.
මෙම උදා ගම්මානය නිවාස 27 කින් සමන්විත වන අතර මෙය අංග සම්පූර්ණව ඉදිකිරීම සඳහා වැයකළ මුදල රුපියල් ලක්ෂ 232 කි. පිරිසිදු පානීය ජලය, විදුලිය, ප්‍රවේශ මාර්ග හා විධිමත් අභ්‍යන්තර මාර්ග ඇතුළු සියලු යටිතල පහසුකම් වලින් මෙය සමන්විත වේ.
“සත්නිඳුගම” ජනතා අයිතියට පත්කිරීමට සමගාමීව නිවාසලාභීන් 27 දෙනාට නිවාස හිමිකම් පත්‍ර හා රුපියල් ලක්ෂ 27 ක් වටිනා සංවර්ධිත බිම් කොටස් 27 ක හිමිකම ලබාදීම, ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල් 50 කට රුපියල් ලක්ෂ 50 ක් වටිනා ‘විසිරි නිවාස ණය’, ප්‍රතිලාභීන් 50 කට රුපියල් ලක්ෂ 100 ක් වටිනා ‘සොඳුරු පියස නිවාස ණය’, වකුගඩු රෝගීන් 25 කට රුපියල් ලක්ෂ 95 ක් වටිනා නිවාස ආධාර, ප්‍රතිලාභීන් 44 කට රුපියල් ලක්ෂ 219 ක් වටිනා ‘විරුසුමිතුරු’ නිවාස ආධාර, පවුල් 4 කට රුපියල් ලක්ෂ 4 ක ස්වයං රැකියා නිවාස ණය සහ දෘෂ්‍යාබාධ සහිත පුද්ගලයින් 49 දෙනෙකුට නොමිලේ ඇස් කණ්නාඩි ප්‍රදානය කිරීමද අමාත්‍යවරයා අතින් මෙහිදී සිදු කෙරුණි.
මෙම අවස්ථාවට සමාජ සුබසාධන හා ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ, පළාත් සභා, පළාත් පාලන හා ක්‍රීඩා රාජ්‍ය අමාත්‍ය ශ්‍රියානි විජේවික්‍රම යන මහත්ම මහත්මීන් ඇතුළු ප්‍රාදේශීය දේශපාලඥයින් පිරිසක්ද සහභාගී වූහ.

